Monday, November 23, 2009

පිරිතේ, බුදු ගුණයෙ බලේ..........

පිරිත යන වචනයේ අරුත ආරක්ෂාව යන්නයි. නිෂ්ක්ලේෂී බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයට ද අසීමිත බලයක් පවතී. මෙමගින් උත්සාහ කරන්නේ පිරිතේ හා බුදු ගුණ බලයෙන් ඔබතුළ ඇතිවන්නාවූ රෝගී තත්වයන් සමනය කරගැනීමට හැකි අවස්ථා කීපයක් ඉදිරිපත් කිරීමටයි.


උළුක්කුවට

· ඇනවුම් පිරිතේ,

“ සද්ධිං හොන්තු සුඛී සබ්බේ - පරිවාරේහි අත්තනෝ

අනීඝා සුමනා හොන්තු - සහ සබ්බේහි ඤතීභී”

යන ග‍ාථාවෙන් තෙල් පිරිත්කර උළුක්කුව ඇතිවූ ස්ථානයේ ගල්වන්න.


හිසරදයට

· ඇනවුම් පිරිතේ,

“පනිධානතෝ පට්ඨාය තථාගතස්ස දස පාරමීයෝ, දස උපපාරමීයෝ, දස පරමත්ථ පාරමීයෝ, පඤ්ච මහා පරිච්චාගේ තිස්සෝ චරියා පච්ඡිම භවේ ගබ්භාවක්කන්තිං ජාතිං අභිනික්ඛමණං පධාන චරියං බෝධි පල්ලංකං මාර විජයං සබ්බඤ්ඤුත ඤාණපටිවේදං නව ලෝකුත්තර ධම්මේති. සබ්බේපිමේ බුද්ධගුණේ ආවජ්ජිත්වා වේසාලියං තීසු පාකාරන්තරේසු තීයාමරත්තිං පරිත්තං කරොන්තෝ ආයස්මා. ආනන්දත්ථේරෝ විය කාරුඤ්ඤ චිත්තං උපට්ඨපෙත්වා.” යන ගාථා ඛණ්ඩ‍නේ ‍ෙතල්, පිරිත් කරවා හිසේ ගාන්න.


· “සබ්බේසු චක්කවාලේසූ - යක්ඛා දේවා ච බ්‍රහ්මුනෝ යං අම්හේහි කතං පුඤ්ඤං - සබ්බ සම්පත්ති සාධකං” යන ගාථාවෙන් තල තෙල් පිරිත්කර හිස ගැල්වීමෙන් හිස රුදාව, විශේෂයෙන් ඉරුවාරදය සුව වේ.


රෝග සුවකර ගැනීම පමණක් නොව වෙනත් සුබ කටයුතු සාර්ථක කරගැනීමටත් පිරිතේ බලය ලැබේ.


· ඔබවෙත එන බාධා මැඩගෙන පෙරට යාමේ ශක්තිය ලබාගැනීම සඳහා “සත් බුදු පිරිත” උදව්වේ. ඔබ ඔබේ දෛනික කටයුතු ඇරඹීමට පෙර තෙවරක් සජ්ජායනා කරන්න. ඔබේ පහසුව තකා එම පිරිත මෙසේ පහත දක්වමි.

සත් බුදු පිරිත


1. විපස්සිස්ස නමත්ථු - චක්ඛුමන්තස්ස සිරිමතෝ

සිඛිස්සපි නමත්ථු - සබ්බ භූතානු කම්පිනෝ


2. වෙස්ස භුස්ස නමත්ථු - නහාත කස්ස තපස්සිනෝ

නමත්ථු කකුසන්ධස්ස - මාර සේනා පමද්දිනෝ


3. කෝණාගමනස්ස නමත්ථු - බ්‍රාහ්මණස්ස වුසීමතෝ

කස්සපස්ස නමත්ථු - විප්ප මුත්තස්ස සබ්බධී


4. අංගීරසස්ස නමත්ථු - සක්‍ය පුත්තස්ස සිරිමතෝ

යෝ ඉමං ධම්ම මදේසේසි - සබ්බ දුක්ඛා පනූදනං


5. යේ චාපි නිබ්බුතා ලෝකේ - යථා භූතං විපස්සිසුං

තේ ජනා අපිසුණා මහන්තා - නමෝ තේ වීත සාරදා


6. හිතං දේව මනුස්සානං - යං නමස්සන්ති ගෝතමං

විජ්ජා චරණ සම්පන්නං - මහන්තං වීත සාරදං


7. තේසං සච්ඡේන සීලේන - ඛන්ති මෙත්ත බලේනච

තේපි මං අනුරක්ඛන්තු - ආරෝග්‍යෙන සුඛේනච


(අනුන්ට කියන විට තේපි ත්වං යනුවෙන් කියවන්න)

Saturday, November 21, 2009

අපටම උරුම චාරිත්‍ර

පුද්ගලයෙකු ඉපදුනු අවස්ථාවේ සිට ජීවිතයේ විවිධ අවස්ථා වලදී විවිධ මංගල අවස්ථා පවතී. රන්කිරි කටගෑම, නම් තැබීම, ඉඳුල් කට ගෑම, කන්විදීම, අකුරු කියවීම හෙවත් අත්පොත් තැබීම, මල්වරවීම, ආවාහ විවාහවීම, ගෙවැදීම ආදිය එවැනි අවස්ථා ලෙස සඳහන් කලහැක. මෙවැනි අවස්ථාවලදී සිංහල බෞද්ධයා විවිධ සිරිත් විරිත් පිළිපදිනු දක්නට ලැබේ. මෙම ලිපියේ පරමාර්ථය යටකි අවස්ථා වලදී අනුගමනය කරන චාරිත්‍ර පිළිබඳව පාඨකයා දැනුවත් කිරීමයි.

මෙම සෑම අවස්ථාවකදී බෞද්ධයන් තෙරුවන් සිහිකොට ආගමික වතාවත් සිදුකරනු ලබයි. එයට හේතුව බෞද්ධයාට ඇති උතුම්ම පිහිට තෙරුවන් බව පිළිගැනීමයි. බොහෝ විට භික්ෂූන් වහන්සේ නමක් වඩම්මවා සෙත් පිරිත් දේශනා කරවා ගැනීමත් දක්නට ලැබේ. මෙවැනි මංගල සම්මත අවස්ථා කීපයක් දැන් සළකා බලමු.

රන්කිරි කටගෑම

අළුත අපන් දරුවාගේ පළමු වරට මුවෙහි කිරි (මව්කිරි) ගෑම රන්කිරි කටගෑමයයි හැඳින්වේ. තම මවගේ තණකිරි සවල්පයක් හා බැලතණකොළ කීපයක් භාජනයකට දමා රන් අභරණයක් හෝ රන් කෑල්ලක් එහි ගාවා නිරෝගී නෑයෙකු විසින් එම කිරි බිඳ දරුවාගේ මුඛයේ තවරනු ලබයි. එම කිරිවලට රන් මිශ්‍රකිරීම නිසා “රන්කිරි” යැයි කියනු ලැබේ.

නම් තැබීම

ඈත කාලයේ දරුවාට නමක් තැබීම සිදුවන දිනයේ ඉතා උත්කර්ෂවත් උත්සවයක් පවත්වනු ලැබීය. නමුත් වර්තමානයේ එසේ සිදු නොවන අතර ඒ වෙනුවට දරුවාගේ ජන්ම වේලාවට අනුව නැකැත්කරුවන් ලබාදෙන අකුරු යොදා නමක් තැබීම සිදුකරනු ලබයි.

ඉඳුල් කටගෑම

ගැහැණු දරුවෙකු ඉපදී මස 05 න් 07 න් 09 න් හෝ 11 න් ඉඳුල් කටගෑම හෙවත් බත් කැවීම සිදුකරයි. එසේම පිරිමි දරුවෙකුට නම් ඉපදී මාස 06 න් 08 න් 10 න් හෝ 12 න් බත්කැවීම සිදුකරයි. මෙහිදී ලොකු පැදුරක් බිම එලා ඒමත සුදු රෙද්දක් දමන් ලබයි. ඉක්බිතිව එහි තැනින් තැන කෙසෙල් කොල තබා ඒ මත කිරිබත්, කැවුම් කෙසෙල් ගෙඩි ආදී කැවිලි වර්ග තබනු ලබයි. තවද එහි තව තැනින් තැන පොත්පත්, පෑන් පැන්සල් වැනි පාසල් උපකරණ ද මුදල් ද තබනු ලබන අතර ඇතිරිල්ල දෙපස දල්වන ලද පහන් සහිත කළස් දෙකක් ද තබනු ලැබේ. සුභ මොහොතින් දරුවාගේ මව, පියා හෝ වැදගත් වැඩිහිටියෙකු දරුවාට කිරිබත් කෑල්ලක් කවනුලබන අතර ඊට පෙර ඇතිරිල්ල මත දරුවා තබා කැමති දෙයක් ගැනිමට ඉඩ හරිනු ලබයි. එහිදී දරුවා අතට ගත් දෙය අනුව ඔහුගේ රුචිකත්වය හා අන‍ාගතය පිළිබඳ යම් අනුමානයක් ඇතිකර ගැනීම සාමාන්‍ය සිරිතයි.

කණ් විදීම

දරුවාට මාස 06, 07 හෝ 08 ක් පමණ වනවිට කණ විදීම කරනු ලබයි. කර්ණ විජ්ජන මංගල්‍යය වශයෙන් අතීතයේදී ඉතා උත්කර්ශවත් ලෙස පැවැත්වූ මෙම මංගල්‍යය වර්තමානයේදී උත්සවයක් ලෙස පැවැත්වීමක් දැකිය නොහැකිය. වර්තමානයේදී දක්නට ලැබෙන්නේ දරුවා දොස්තර මහතෙකු වෙත කැඳවාගෙන ගොස් කණ සිදුරු කරවා ගැනීම දක්නට ලැබේ. කෙසේ වුවත් කණ විදීමෙන් පසු කර්ණාභරණ පළඳවන තුරු කන් පෙති සිදුරේ කරපිංච නැට්ටක් හෝ කරාබු මලෙහි සිහින් නැට්ටක් රඳවනු ලබයි.

හිස කෙස් කැපීම

දරුවාගේ හිසකෙස් පළමුව කැපීම ද ජීවිතයේ තවත් වැදගත් අවස්ථාවකි. මේ සඳහා පන්සලේ හාමුදුරුවන්ට කල්තියා ආරාධනාකොට අදාළ දිනයේදී දරුවාගේ දෙමාපියන් තවත් නෑදෑයන් කීපදෙනෙක් ද සමග විහාරස්ථානයට යති. පසුව පැමිණි පිරිස පන්සිල්හි පිහිටුවා තෙරුවන් වන්දනාකොට සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නියමිත වේලාවට ස්වාමීන් වහන්සේ දරුවාගේ කෙස් රොදක් කපාදමයි. එය නොපෑගෙන තැනකට හෝ ගලා යන ජලයට දමනු ලබයි.

සාමාන්‍යයෙන් දරුවාගේ උපතින් පළමු, තෙවන, පස්වන වැනි විෂම වර්ෂවල හෙවත් ඔත්තේ වර්ෂවල කෙස් කැපීම සිදුකරන අතර දරුවා බහ තෝරන වයසේදී කෙස් නොකැපිය යුතුයැයි මතයක් පවතී.

අතපොත් තැබීම

දරුවෙකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවකි, අතපොත් තැබීම. දරුවාට වයස අවුරුදු තුනක් පමණ වනවිට සුභ දිනයක, සුභ වෙලාවක “ අතපොත්” තැබීම සිදුකරයි. මෙහිදී සුභ වෙලාවේදී සුභ දිශාවට දරුවාගේ මුහුණ හරවා “ස්වස්ති සිද්ධම්” යැයි කියා දරුවාට අකුරක් දෙකක් ඉලක්කමක් දෙකක් ද කියවා ගල් ලෑල්ලක අකුරක් ලියවීම ද සිදුකෙරේ. වර්තමානයේදී ගල් ගෑල්ලක් සොයාගත නොහැකි නිසා බොහෝවිට භාවිතා කරන්නේ අභ්‍යාස පොතයි. එහි කිසිදු වැරුද්දක් නැත.

මෙය බොහෝ විට ස්වාමීන්වහන්සේ නමක් ලවා සිදුකරවන අතර නියමිත දිනයේදී කිරි බතක් පිළි‍‍ෙයලකොට ගෙන පන්සලට ගොස් තුනුරුවන් වැඳ කිරිබතෙහි පළමු කොටස බුදුරදුන්ටත් දෙවනුව සංඝ රත්නයටත් පූජාකර දෙවියන්ට පින් දී සෙත් පිරිත් දේශනාව මධ්‍යයේ අතපොත් තැබීම සිදු කෙරේ. උගත් ගිහියන් ලවා ද මෙය සිදු කරවන අවස්ථා ද පවතී. අකුරු කියවන ස්ථානයේ පහනක් දැල්වීම ද සාමාන්‍ය සිරිතයි. අකුරු කියවීමෙන් පසුව දරුවාලවා අකුරු කියවූ හිමි නමට හෝ උගත් පුද්ගලයාට බුලත් හුරුල්ලක් දී වන්දනා කරවනු ලබයි. උගත් අයෙකු ලවා අතපොත් තැබූ විට ඔහුට හෝ ඇයට කිරිබත් වලින් සංග්‍රහකොට දරුවාට ද කිරිබත් කෑල්ලක් කවයි.

පාසල් යන වයස සම්පූර්ණ වූ විට පාසලට යන දිනයේ උදෑසන තෙරුවන් වන්දවා පසුව දෙමාපියන්ට ද වන්දවා පාසලට කැන්දවාගෙන යනු ලබයි. එහිදී පාසලේ විදුහල්පතිතුමාට ද බුලත් හුරුල්ලක් පිළිගන්වා දරුවා ලවා වන්දවනු ලබයි.

Friday, November 20, 2009

හෙළයාගේ දඬු මොනරය

ඔබෙන් කවුරුන් හෝ ගුවන් යානය නිපදවූයේ කවුද? යි ඇසුවහොත් ඔබේ පිළිතුර වන්නේ රයිට් සහෝදරයෝ යන්නයි. සමහරවිට ඔබ නිවැරදිය. එයට හේතුව මුළු ලෝකයම පිළිගන්නේ එම පිළිතුර නිසයි. නමුත් මෙහි නියම උරුමකරුවා වන්නේ සිංහල‍ෙයකු බව ඔබ දන්නේ නැත. පරගැති බවෙන් වැසී ඇති හෙළයාගේ චින්තනය මේ නියම උරුමකරු අමතක කොට එහි පේටන්ට් අයිතිය සුද්දාට පවරා බලාසිටී. එසේ වුවද ඔබ අමතක නොකළ යුත්තක් තිබේ. එනම්, සුද්දා කොල අතු අඳින යුගයේ හෙළයා රෙදි වියාගෙන ඇන්ඳ බව. එයට අපේ ඉතිහාසයේ කුවේණියගේ කථා පුවතින් සාක්ෂි සපයයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ. මෙයින් පෙනෙන්නේ බටහිර ජාතින්ට පෙර, ශිෂ්ඨාචාර වූ ජාතියක් ලෙස සියවස් ගණනාවක් සිංහලයා ජීවත් වූ බවයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ.

ඉන්දියාවේ පුරා වෘතයක් වූ රාමායණය කථා පුවතේ සඳහන් වන්නේ රාමාගේ බිරිඳ වන සිතාවන් හෙළයෙකු වූ රාවණා නිරිඳුන් (ක්‍රි.පූ. 2554 2517) විසින් ඉන්දියාවෙන් හෙළ දීපයට පැහැරගෙන එන ලද්දේ පුෂ්පක නම් ගුවන් යානයෙන් බවයි. මෙය ප්‍රසිද්ධ කථා පුවතකි.

මෙම පුෂ්පක නම් ගුවන් යානය දඬු මොනරය නමින් ද හඳුන්වනු ලැබීය. එම නම එයට ලැබුණේ මොනරාගේ ආකෘතියෙන් දැවයෙන් නිම කරන ලද බැවිනි.

එසේම ලෝකය පිළිගන්නේ දඬු මොනරය නිපදවන ලද්දේ රාවනා බවයි. එහෙත් රාමායණය කියන්නේ ‍රාවණා නිරිඳුගේ සොහොයුරු වූ වෛශ්‍රවණ හෙවත් කුවේර නරේන්ද්‍රයාට ද පුෂ්පක නම් ගුවන් යානයක් තිබූ බවයි. ඔහු සිව ගිරිය හෙවත් සීගිරිය අග නගරය කොටගෙන රජකම් කල බව ද කියැවේ. එහි තව දුරටත් සඳහන් වෙන්නේ රාවණා රජු විසින් එම යානය පැහැරගෙන පරිහරණය කරඇති බවයි. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙ‍නාටම නගර නිර්මාණය සඳහා උපදෙස් ලබාදුන් විස්කම් හෙවත් විශ්ව කර්ම නමැති මහා මූලාචාරියා ජිවත්වූයේ ද එම යුගයේ ය. විශ්ව කර්ම යනු අතීතයේ මහා විෂ්මිත නිර්මාණ කල පුද්ගලයෙකු බව බොහෝදෙනා දන්නා කරුණකි. ඒ අනුව ඉහත දැක්වූ දඬු මොනරය විශ්ව කර්මයාගේ නිර්මාණයක් ද විය හැකිය. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙනාම සතුව ගුවන් යානා නිෂ්පාදන තාක්ෂණය තිබෙන්නට ඇතැයි මෙමගින් සිතිය හැකිය.

තවත් ලෙසකින් සඳහන් වන්නේ මෙම දඬු මොනරය පිළිබඳ ඉතිහාසය රාවණා රජුගේ යුගයෙනුත් සියවස් විසි පහක් ඈතට දිවයන බවයි.

ශ්‍රී ලංකාවේ වාරියපොළ යනු නගරයකි. මෙම නම සන්දිකර බැලුව හොත් වා+රිය+පොළ යනුවෙන් දක්නට ලැබේ. මෙහි වා නම් වාතයයි. රිය නම් රථයයි. පොළ නම් එම රථය නතරකරන ස්ථානයයි. ඒ අනුව වාතයෙන් ගමන් කරනා රථ නතරකරන ස්ථානය ලෙස තවදුරටත් එය විග්‍රහ කළ හැකිය. (වාතයෙන් ගමන් කරන්නේ ගුවන් යානායි.) මේ විග්‍රහයට අනුව සිතිය හැක්කේ වර්තමාන වාරියපොළ නගරය අතීතයේ ගුවන් යානා නතර කරන ලද ප්‍රදේශයක් වියහැකි බවයි.

එමෙන්ම ක්‍රි.පු. දෙවන සියවසෙහි දී දකුණු ඉන්දියාවේ සිංහළයින් වාසය කරන ලදැයි සාක්ෂි ඇති කුවන් කොඩ් නමින් ‍ෙදමළට හැරවූ ගුවන් ගොඩ රාවණා යුගයෙහි ගුවන් යානා නවත්වන ලද ප්‍රදේශයක් වූ බවට තවත් ඉඟියකි.

වර්තමානයේ අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය වැනි ප්‍රදේශවල දක්නට ලැබෙන ලොවම විශ්මිත කරවන නිර්මාණ දෙස බලන විට ඉහත දැක්වූ විෂ්මිත නිර්මාණය ද හෙළයෙකුගේ අතින් නිමවූ එකක් නොවන බව කෙසේ කිව හැකිද?

කෙසේ වෙතත් මේ පිළිබඳව ඉතිහාසයන්ගේ හා පුරාවිද්‍යායන්ගේ අවධානය යෙමුවිය යුතු අතර ඒවා පිළිබඳව විධිමත් පර්යේෂණයන් පැවැත්විය යුතුය.




(අරිසෙන් අහුබුදු ශූරීන්ගේ ලිපියක් ඇසුරින්)

Thursday, November 19, 2009

ඔබ රූප සම්පත්තිය ලබන්න කැමතිද?

කෙනෙකු රූප සම්පත්තිය ඇතිව උපදින්නේ කුසල් සම්පත් හේතුවෙනි. ඒ සඳහා යම් යම් යහපත් කරුණු ඉෂ්ඨ සිද්ධවීම වැදගත්ය. එනම්, මෛත්‍රීසහගත බව අන් අයගේ දියුණුවට ඇති සහජ කැමැත්ත, අන් අයගේ ගුණාත්මක ගති පැවතුම් ඉස්මතුකොට පෙන්වා ඔවුන් ධෛර්යමත් කිරීම රූප සම්පත්තිය වැඩෙන පුණ්‍ය ක්‍රියාවෝය. එපමණක් නොව කරන කියන කටයුතු ද ක්‍රමානුකූලව, පිළිවෙලකට, නිසි පරිදී, සැළකිල්ලෙන් ඉටුකිරීම රූප සම්පත්තිය හිමි වීමට තවත් හේතුවකි.

එසේම ජරාවාස වූ ගිලන්හල්, විහාරස්ථාන, දාගැබ්, පාසල්, පාලම්, වැව් පොකුණු, උයන් වතු, ජලාශ ආදී මනුෂ්‍යයන් ප්‍රමුඛ සකල සත්වයන්ටම ප්‍රයෝජනවත් වන තැන් අළුත්වැඩියා කිරීම, යථා තත්වයට පත්කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ද රූප ශෝභාව ලැබෙන පින්කම්ය.

තවද වස්ත්‍ර පූජාව, සුවඳ වර්ග, මල් පූජාව, ජලාශ ඉඳිකිරීම, වැස්කිළි-කැසිකිළි පිරිසිදුව තැබීම හා කායික වශයෙන් ද මානසික වශයෙන් ද පිරිසිදු ජීවිතයක් ගතකිරීම උපනූපන් භවයන් හි රූප ශෝභාවෙන් පිරිපුන් තෙදවත් බවක් ලැබීමට හේතුවන බව බුදුරදුන් වදාරා ඇත.

පිරිසිදුව ජීවත් වීම, පිරිසිදුබව ගැන අන් අයට කරුණු වටහා දී ඔවුන් අපිරිසිදුකමින් වලක්වා ගැනීම ද රූප ශෝභාව මෙළොවදීත් මතු භවයන්හිදීත් ප්‍රියශීලී පැහැපත් පෙනුමක් ලැබීමට හේතුවෙයි. මලක්, පහනක් පුද පූජා කිරීමෙහිදී වුවත් පරමල් ඉවත්කොට තැළුන මල් අස්කොට මල් අසුන පිරිසිදු කර ක්‍රමානුකූල පිළිවෙළකට මල් පහන් වුවද පූජා කල යුතුය. අපිරිසිදු පූජනීය භූමි, වෙහෙර මළු, බෝධි මළු, මං මාවත් ආදිය පිරිසිදු කිරීම ද රූප ශෝභාව වඩන කුශල ක්‍රියාවෝ යැයි වදාළහ. තවද සත්‍යවාදී වීම, බොරුවෙන් වැළකීම ද ඔවුනොවුන් බිඳවන කේලාම් වලින් වැළකීම ද තුන්වන සිඛ පදය නිසි පරිදී රැකීම ද මහේසාක්‍ය බවින් යුත් ආත්මයක් ලැබීමට හේතුවෙති’යි බුදුරදුන් වදාළහ.


(අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි පුවත්පතකට ලියන ලද ලිපියක් ඇසුරෙනි.)

Tuesday, November 10, 2009

වෙසක් නිවාඩුවෙන් බිහිවූ බෞද්ධ කොඩිය


ඕනෑම උත්සව අවස්ථාවක හෝ විශේෂ අවස්ථාවක සැරසිලි කිරීමේදී බහුලව භාවිතා කරන්නකි, කොඩිය. එපමණක් නොව රටක් සංකේතවත් කිරීම සඳහා ද බොහෝවිට භාවිතා කරන්නේ කොඩියයි. ලෝකයේ ආගම් කෙරෙහි අවධානය යොමුකර බලන විට ද බොහෝ කොඩි වර්ග දැකිය හැකිය. එහෙත් ආගමික සංකේතයක් ලෙස එකම කොඩියක් මුළු ලෝකයේම භාවිතා කරන ආගමක් ඇත්නම් ඒ බෞද්ධාගම පමණි. එය “බෞද්ධ කොඩිය” යැයි අපට ආඩම්බරයෙන් පුකාශකල හැකිය. මෙම පූජනීය බෞද්ධ කොඩිය පිළිබඳ අප්‍රකට තොරතුරු හෙළිදරවු කිරීම මෙහි අරමුණයි.

පළමුව බෞද්ධ කොඩිය නිර්මාණය වීමට හේතුවූ පසුබිම එළිපෙහෙළි කරගත යුතුය.

වෙසක් පොහෝ නිවාඩු දිනය අහෝසි වෙයි

ඈත අතීතයේ සිට එනම් වසර දහස් ගණනක සිට ලක් වැසි බෞද්ධයා බුක්ති විඳි අති උත්තම වු වෙසක් පොහෝ නිවාඩු දිනය ක්‍රි.ව.1770 නොවැම්බර් මස 01 වන දා සිට අහෝසි කිරීමට එවකට මේ ලක් දෙරණ පාලනය කරමින් සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුව පියවර ගන්නා ලදී. එතැනින් නොනැවතුනු ඔවුහු ඉරිදා දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ද නීතිගත කරන ලදී.

මෙහිදී මෙහොතක් වෙසක් නිවාඩුව පිළිබඳ වු ඉතිහාසය සොයා බැලිය යුතුය. එසේ සොයාගෙන යද්දී 3 වන උදය රජුගේ (ක්‍රි.ව.942-950) බදුලු ශිලා ලේඛණය හමුවේ. එහි මෙසේ සඳහන් වේ. “ පොහොදා සල් කළාකුගෙන් වැපුදයට තෙල් පද්දක් ගන්නා ඉසා, මියු ගුණ් මහ වෙහෙරැ වැපුද පවත්වනු ඉසා” මෙහි සරළ තේරුම වන්නේ, “පොහොය දින වෙ‍ෙළඳාමේ නිරත වූ වෙළෙන්දන්ට ඊට දඬුවම් වශයෙන් මහියංගන වෙහෙරේ පහන් පූජාවට තෙල් පද්දක් (කාලක් හෝ නැළියක්) ගෙවිය යුතුය” යන්නයි. (වෙසක් නිවාඩුව හා බෞද්ධ කොඩිය - ගෝනහේනේ ජෝතිපාල හිමි) මේ අනුව පෙනී යන්නේ වසර දහස් ගානක් තිස්සේ වෙසක් පොහෝ නිවාඩුව ලක් දෙරණ තුළ ක්‍රියාත්මක වූ බවයි.


වෙසක් පොහෝ නිවාඩුව යළි දිනා ගැනීමට සටන් කිරීම

මේ සටන අවිහිංසාවාදී සටනක් විය. මෙහිදී පෙරමුණ ගත්තේ බෞද්ධ ආරක්ෂක සභාවයි. බ්‍රිතාන්‍ය පාලනයෙන් බෞද්ධයින්ට සිදුවූ අසාධාරණකම් මග හරවා ගැනීමටත් බෞද්ධ අයිත්වාසිකම් දිනාගැනීමටත් පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ මූලිකත්වයෙන් බිහිවූ සංවිධානයක් ලෙස බෞද්ධ ආරක්ෂක සභාව හැඳින්විය හැකිය.

ඒ අනුව විද්‍යෝදය පිරිවෙනට රැස්වූ කොළඹ ඉහළ පෙළේ ප්‍රභූ පිරිසක් ලහිලහියේ මෙම සංවිධානය පිහිටුවා ගැනීමට උත්සුක විය. එහි ප්‍රතිඵලයක් ලෙස බිහිවූ බෞද්ධ ආරක්ෂක සභාවේ කමිටු සාමාජිකයින් වූයේ විලියම් ද ආබ්‍රෙව්, දොන් කරෝලිස්, මුහන්දිරම් දොන් ඩේවිඩ් අභයරත්න, ජේ.පී.ජයතිලක, ජේ.ආර්. ද සිල්වා, සයිමන් පෙරේරා, ධර්ම ගුණවර්ධන ආරච්චි, බී.එච්.කුරේ, සේදිරිස් සිල්වා, ආර්.ඒ.මිරැන්ඩෝ, නීතිඥ චාර්ලිස් ඇලෙක්සැන්ඩර් ද සිල්වා, සී.පී.ගුණවර්ධන මහත්වරුන්ය.

මේ වන විට මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන්ගේ පානදුරා වාදයේ ලිපි කියවා පැහැදී ලංකාවට පැමිණ සිටි ඇමෙරිකානු ජාතික හෙන්ඩ්‍රි ස්ටීල් ඕල්කට්තුමා මදුරාසි සංචාරයක යෙදී සිටිය ද මෙම කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත්කළ යුතුයැයි පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් යෝජනා කළේය. ඒ අනුව ඔහු බෞද්ධ ආරක්ෂක සභාවේ ඉල්ලීම් ඇතුළත් පණිවුඩය රැගත් නියෝජිතයා ලෙස එංගලන්තයේ යටත් විජිත භාර ලේකම් ඩාර්බි සාමි වෙත යැවීමට ද තීරණය කරගන්නා ලදී. 1884 අප්‍රේල් මාසයේදී ඔහු එංගලන්තයට ලඟාවූ අතර 1884 මැයි 17 වන දා ඉල්ලීම් ඇතුළත් ලියවිල්ල යටත් විජිත භාර ලේකම්වරයා වෙත භාරදුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1885 අප්‍රේල් මස 28 වැනි දිනට යෙදී තිබුණු වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී නැවතත් වෙසක් පොහෝ දින නිවාඩුව නීතිගත කරන ලදී.

වෙසක් උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස සැමරීමට කටයුතු කෙරේ

මෙම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් බෞද්ධ ආරක්ෂක සභාව ඉතා උත්කර්ෂවත් අයුරින් වෙසක් පොහොය දිනය සැමරීමට තීරණය කරන ලදී. ඒ අනුව හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන් ඇතුළු කමිටුවක් ද පත්කරගන්නා ලදී. එම කමිටුව වැඩසටහන් මාලාවක් ද සංවිධානය කොටගෙන තිබුණි. එහි එක් යෝජනාවක් වූයේ කොටහේනේ දීප දුත්තාරමයේදී බෞද්ධ කොඩියක් එසවීමයි. ඒ සඳහා නව කොඩියක් නිර්මාණ කර ගැනීමට අවශ්‍ය විය. මෙම කොඩිය සඳහා නව සැළසුම් ඉදිරිපත් කිරීමට කමිටු සාමාජිකයින්ට සිදුවිය. විවිධාකාරවූ සැළසුම් ඉදිරිපත් වුවද මාතර, මඩිහ නම් ගමේ උපන් කරෝලිස් පූජිත ගුණවර්ධන ශූරීන් (සී.පී. ගුණවර්ධන) විසින් බුදුරජාණන් වහන්සේගේ ෂඩ් වරණ රශ්මි ධාරාව පිළිබිඹු වන ආකාරයට නිර්මාණය කල සැළැස්ම හොඳම සැළැස්ම ලෙස තෝරා ගන්නා ලදී.

කෙසේ වෙතත් ඇතමුන් බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා ඕල්ක‍ට්තුමා බව පෙන්වීමට උත්සාහ ගත්හ. 1892 ඩාර්ජලින් නුවර පැවැත්වුණු බෞද්ධ සම්මේලනය ගැන “තියෝසොපිස්ට්” සඟරාවට වාර්තාවක් සැපයූ හෙන්රිටා මුලර් මෙනෙවිය එහි සඳහන්කොට තිබුණේ ඕල්කට්තුමා බෞද්ධ කොඩිය සැළසුම් කල බවයි. නමුත් ඒමතය වැරදි බව ඕල්කට්තුමාම පුකාශ කළේ මේ ආකාරයටය. “මා බෞද්ධ කොඩිය සැළසුම් කල බව කියන මුලර්ගේ වාර්තාව වැරදිය. එහි ගෞරවය හිමිවිය යුත්තේ කොළඹ පරම විඥානාර්ථ සමාගමේ සාමාජිකයන්ට ය. මා කල එකම දෙයනම් හැඩය වෙනස් කිරීමට යෝජනා කිරීම පමණකි.”

බෞද්ධ කොඩියේ වර්ණ


නීල = නිල්

පීත = කහ

ලෝහිත = රතු

ඕදාත = සුදු

මාං‍ෙජ්‍යෂ්ඨ = තැඹිල


ඉහත ආකාරයේ වර්ණ මෙම කොඩියට අන්තර්ගත කිරීමට හේතුව වූයේ බුදුරජානන් වහන්සේගේ ජීවමාන කාලයේදී තම ශරීරයෙන් නික්මුණා වූ සවනක් ඝණ බුද්ධ රශ්මිය මෙමගින් නිරෑපණය වන නිසයි. බුදුරජාණන් වහන්සේ බුදුධත්වයෙන් හතරවන සතියෙහි මහ බෝධියට වයඹ දිගින් වූ රතන ඝර නම් විහාරයෙහි වැඩවසමින් පට්ඨාන ධර්මය මෙනෙහි කරමින් සිටින විට උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් මෙහි සඳහන් කල ෂඩ් වර්ණ බුද්ධ රශ්මි මාලාවන් විහිදුනු බව කියැවේ. මෙහිදී එම වර්ණ විහිදුනා වූ ආකාරය ඉදිරිපත්කිරීම ද වටී. එය මෙසේ සඳහන් කල හැකිය. උන්වහන්සේගේ ‍ෙක්ශධාතු ආදී නීල වර්ණ අවයව වලින් නීල් (නීල) වර්ණය ද ඡවි හෙවත් සම ආදී කහ පැහැති අවයව වලින් කහ (පීත) වර්ණය ද ලේ ආදී රක්ත ස්ථාන වලින් රතු (ලෝහිත) වර්ණය ද ඇට වලින් හා දත් වලින් ඕදාත (සුදු) වර්ණය ද ශරීරයේ අතුල් පතුල් හා තොල් වලින් තැඹිලි (මාං‍ෙජ්‍යෂ්ඨ) වර්ණය ද මේ සියළුම වර්ණ එකතුවී (ප්‍රභාශ්වර) වර්ණය ද විහිදුනු බව බුද්ධ චරිතයේ සඳහන් වේ.


මේ ආකාරයට නිර්මාණය වූ බෞද්ධ ‍ෙකාඩිය ගරු ගාම්භීරත්වයෙන් පුථම වරට 1885 අප්‍රෙල් මස 28 වන දිනට යෙදුනු වෙසක් පුර පසළොස්වක පොහේ දින කොළඹ විද්‍යෝදය පිරිවෙනෙහි ද කොටහේනේ දීපදුත්තාරාමයේ ද කොළඹ පිහිටි වෙනත් විහාරස්ථානවල ද ඔසවන ලදී.