Saturday, May 15, 2010

වඳිමු වඳිමු බුදුරැස් විහිදුවන සෑ රදුන්



බුදු බලය ආශ්චර්යය. ඒ ආශ්චර්යත්වය උන්වහන්සේගේ ශරීරාංග වලින් හෙවත් ධාතූන්වහන්සේලාගෙන් ද නෙ‍ාපෙනේ නම් එය ඇදහිය නොහැක්කකි. එක් එක් ධාතූන් වහන්සේ විවිධවූ ආශ්චර්යයන් පෙන්වා තිබේ. ඒ අතර මහනුවර ශ්‍රී දළදා මන්දිරයේ වැඩසිටින දන්ත ධාතූන් වහන්සේ වර්ෂාව ලබාදීමේ ආශ්චර්යය ලොවට පෙන්වා තිබේ. සෝමාවතී සෑරදුන් බුදුරැස් විහිදුවමින් බුද්ධාශ්චර්යය ලොවට පෙන්වා දී තිබේ.

බුදුරැස් විහිදුවන සෝමාවතී සෑරදුන් පිහිටා තිබෙන්නේ උතුරු මැද පළාතේ පොළොන්නරු දිස්ත්‍රික්කයේය. මේහා බැඳුණු ඓතිහාසික කථා පුවතක් පවතී. එය මෙසේ දිගහැරේ.

අතීතයේ එක්තරා අවධියකදී ශ්‍රී ලංකාවේ අගනගරය වූයේ පොළොන්නරුව වුවද තවත් කුඩා රාජධානි කීපයක් පැවති බව ඉතිහාසය අධ්‍යයනය කරනවිට පෙනීයයි. ඒ අනුව හෙළදිව දක්ෂිණ දේශයෙහි “මාගම” නමින් ද බස්නාහිර “කැළණිය” නමින් ද ඊශානදිග “සේරුනුවර” නමින් ද කුඩා රාජ්‍යයන් තිබූ බව තහවුරුවේ.

එකල මාගම පාලනය කල කාවන්තිස්ස රජුගේ නැගණිය වූ සෝමාදේවිය කැළණියේ රජකල ශිවරජුගේ බෑණනුවන් වූ අභය කුමාරයා සරණපාවා ගනු ලැබීය. ඉන්පසුව කාවන්තිස්ස රජතුමා පෙර සඳහන් කළ කුඩා රාජ්‍යයන්ටත් වඩා කුඩා රාජ්‍යයක් වූ “ගිරිනුවර” නම් වූ රාජධානියේ පාලනය අභය කුමාරයාට පවරනු ලැබීය. එතැන් සිට ඔහු “ගිරිඅභය” නමින් එම ප්‍රදේශය පාලනය කරන ලදී. මෙය පුරාවෘතයක් වූ “ධතුවංශයේ” සඳහන් වේ.

පසු කාලයේදී කාවන්තිස්ස නිරිඳුන් තම ලොකු පුතා හෙවත් ගාමිණී අභය කුමරු ගිරිනුවරට පිටත්කර හැරීය. ගිරිඅභය කුමරු හා සෝමාදේවිය ඉතා ගරුසරුව ගාමිණී අභය කුමරු පිළිගත්ත ද වැඩිකල් යාමට මත්තෙන් ඔවුන් අතර මතභේද ඇතිවීමේ ලකුණු පහළවිය. එය තේරුම්ගත් ගිරිඅභය හා සෝමාදේවිය තම පිරිවර හා සම්පත් ද රැගෙන සේරු නුවර රජකල ශිව රජු හමුවීමට ගියහ. එතුමා විසින් මහත් හරසරින් පිළිගත් ගිරිඅභය, සෝමාදේවී යුවළට වාසය කිරීම සඳහා සියලු සැපපහසුකම් ද සහිත නගරයක් ඉදිකරවා භාරදෙනු ලැබීය. මෙම ජනපදය පිහිටියේ මහවැලි ගඟ අසබඩය. ඉතා විශාල ජනපදයක් වූ මෙම ජනපදය “සෝමපුරය” යැයි ද නම් ලැබීය. ඒ සඳහා සෝමාදේවියගේ විශිෂ්ඨ වූ වැඩපිළවෙල හේතුවන්නට ඇත. ඉතා සමෘද්ධිමත් වූ මෙම රාජධානිය උද්‍යාන, ප්‍රාසාද, කූඨාගාර ශාලා ආදී අංශවලින් පරිපූර්ණව පැවති බවට දඹදෙණි යුගයේ ලියැවුණු වංශකථා වලින් හෙළිදරව් වේ.

සෝමාදේවිය යනු බුදු දහම කෙරෙහි මහත් ලැදියාවකින් කටයුතු කල අයෙකි. දිනක් මැය තම සැමියා වූ ගිරිඅභය කුමරුට යෝජනාවක් ගෙන ආවේය. එනම්, තම පවුලේ අයට හා ජනතාවට වැඳුම් පිදුම් කිරීම සඳහා විහාර සංකීර්ණයක් හා වෙහෙර වහන්සේ නමක් ඉඳිකරවීමයි. එයට මහත්සේ සතුටු වූ ගිරිඅභය කුමරු තමනට ළඟත් නැති දුරත් නැති ස්ථානයක් වූ මහා සල්වනයක් සහිත ප්‍ර‍ෙද්ශයක් තෝරාගන්නා ලදී. එවකට එම සල් වනයෙහි වැඩ වාසය කරනු ලැබුවේ අරිට්ඨ මහරහතන් වහන්සේගෙන් පැවත එන මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ මහින්ද මහරහතන් වහන්සේ ඇතුලු හැටක් පමණ වූ මහරහතන් වහන්සේලායි.

ගිරිඅභා කුමරු තම අවශ්‍යතාවය පිළිබඳව මහින්ද මහරහතන් වහන්සේ දැනුවත්කළ අතර උන් වහන්සේ මහත් ප්‍රසාදයට පත් විය. තවද එම දාගැබෙහි නිදන් කිරීම සඳහා ධාතූන් වහන්සේලා ලබාදීමට ද පොරොන්දු විය.

කාලයාගේ අවෑමත් සමගම ධාතු ගර්භය තෙක් වූ දාගැබේ කොටසක් නිමකොට ධාතුන් වහන්සේ නිදන් කිරීම සිදුකිරීමට මත්තෙන් මහින්ද මහරහතන් වහන්සේ තමන් වහන්සේ සන්තනයේ තිබු මහාර්ඝ වස්තුව වූ ලොව්තුරා බුදුරජානන් වහන්සේගේ දකුණු දළදාව ගිරිඅභය කුමරුට පිළිගැන්වීය. එතුමා එම ධාතූන් වහන්සේ නිදන්කොට චෛත්‍යය කරවීය. ගිරිඅභය කුමරුන් මෙම චෛතයය සෝම පුරයෙහි ඉදිකරවීම නිසා එය ”සෝමාවතී“ චෛත්‍ය රාජයාණන් බවට පත්විය.

බුම්බුලාකාර හැඩයෙන් යුත් මෙම චෛත්‍යය හා විහාරය පිහිටි භූමිය තුළ විවිධ විහාරාංග තිබූ බව සොයාගෙන තිබේ.

විවිධ අවස්ථා වලදී මෙම සෑරදුන් වෙතින් බුද්ධ රශ්මි ධාරාවන් විහිඳී ඇතිබවට සාක්ෂි පවතී. තවද රුදුරු යුද්ධයකට මැදිව ‍‍මෙම සෑරදුන් පිහිටා තිබුණ ද කොටි ත්‍රස්තවාදීන්ට කිසිසේත් විනාශ කර දැමීමට හැකියාවක් නොලැබුණි. එයද බුදු රදුන්ගේ ගුණ මහිමය පෙන්වන අවස්ථාවක් ලෙස සැළකිය හැකිය.

3 comments:

  1. harima lassana aththatama hoda aiye .oya me karanne loku sewayak .oyata godak pin .puluwan nam aprasidda ape urumayan genath hoyala kiyanna aiye .oyata thawa thawa shakthiya lebewa kiyala prarthana karanawa

    ReplyDelete
  2. සෝමාවතී චෛත්‍යයේ නිධාන කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව.
    බුදුරජානන් වහන්සේගේ "දකුණු අකු ධාතුව" නිධන් කර තියෙන්නේ ථූපාරාම චෛත්‍යයේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. එය නිවැරදි විය යුතුයි ..සෝමාවතී චෛත්‍යයේ නිධාන කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ උඩුඇන්දෙ දකුණු දළදාව.

      Delete