Monday, November 23, 2009

පිරිතේ, බුදු ගුණයෙ බලේ..........

පිරිත යන වචනයේ අරුත ආරක්ෂාව යන්නයි. නිෂ්ක්ලේෂී බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයට ද අසීමිත බලයක් පවතී. මෙමගින් උත්සාහ කරන්නේ පිරිතේ හා බුදු ගුණ බලයෙන් ඔබතුළ ඇතිවන්නාවූ රෝගී තත්වයන් සමනය කරගැනීමට හැකි අවස්ථා කීපයක් ඉදිරිපත් කිරීමටයි.


උළුක්කුවට

· ඇනවුම් පිරිතේ,

“ සද්ධිං හොන්තු සුඛී සබ්බේ - පරිවාරේහි අත්තනෝ

අනීඝා සුමනා හොන්තු - සහ සබ්බේහි ඤතීභී”

යන ග‍ාථාවෙන් තෙල් පිරිත්කර උළුක්කුව ඇතිවූ ස්ථානයේ ගල්වන්න.


හිසරදයට

· ඇනවුම් පිරිතේ,

“පනිධානතෝ පට්ඨාය තථාගතස්ස දස පාරමීයෝ, දස උපපාරමීයෝ, දස පරමත්ථ පාරමීයෝ, පඤ්ච මහා පරිච්චාගේ තිස්සෝ චරියා පච්ඡිම භවේ ගබ්භාවක්කන්තිං ජාතිං අභිනික්ඛමණං පධාන චරියං බෝධි පල්ලංකං මාර විජයං සබ්බඤ්ඤුත ඤාණපටිවේදං නව ලෝකුත්තර ධම්මේති. සබ්බේපිමේ බුද්ධගුණේ ආවජ්ජිත්වා වේසාලියං තීසු පාකාරන්තරේසු තීයාමරත්තිං පරිත්තං කරොන්තෝ ආයස්මා. ආනන්දත්ථේරෝ විය කාරුඤ්ඤ චිත්තං උපට්ඨපෙත්වා.” යන ගාථා ඛණ්ඩ‍නේ ‍ෙතල්, පිරිත් කරවා හිසේ ගාන්න.


· “සබ්බේසු චක්කවාලේසූ - යක්ඛා දේවා ච බ්‍රහ්මුනෝ යං අම්හේහි කතං පුඤ්ඤං - සබ්බ සම්පත්ති සාධකං” යන ගාථාවෙන් තල තෙල් පිරිත්කර හිස ගැල්වීමෙන් හිස රුදාව, විශේෂයෙන් ඉරුවාරදය සුව වේ.


රෝග සුවකර ගැනීම පමණක් නොව වෙනත් සුබ කටයුතු සාර්ථක කරගැනීමටත් පිරිතේ බලය ලැබේ.


· ඔබවෙත එන බාධා මැඩගෙන පෙරට යාමේ ශක්තිය ලබාගැනීම සඳහා “සත් බුදු පිරිත” උදව්වේ. ඔබ ඔබේ දෛනික කටයුතු ඇරඹීමට පෙර තෙවරක් සජ්ජායනා කරන්න. ඔබේ පහසුව තකා එම පිරිත මෙසේ පහත දක්වමි.

සත් බුදු පිරිත


1. විපස්සිස්ස නමත්ථු - චක්ඛුමන්තස්ස සිරිමතෝ

සිඛිස්සපි නමත්ථු - සබ්බ භූතානු කම්පිනෝ


2. වෙස්ස භුස්ස නමත්ථු - නහාත කස්ස තපස්සිනෝ

නමත්ථු කකුසන්ධස්ස - මාර සේනා පමද්දිනෝ


3. කෝණාගමනස්ස නමත්ථු - බ්‍රාහ්මණස්ස වුසීමතෝ

කස්සපස්ස නමත්ථු - විප්ප මුත්තස්ස සබ්බධී


4. අංගීරසස්ස නමත්ථු - සක්‍ය පුත්තස්ස සිරිමතෝ

යෝ ඉමං ධම්ම මදේසේසි - සබ්බ දුක්ඛා පනූදනං


5. යේ චාපි නිබ්බුතා ලෝකේ - යථා භූතං විපස්සිසුං

තේ ජනා අපිසුණා මහන්තා - නමෝ තේ වීත සාරදා


6. හිතං දේව මනුස්සානං - යං නමස්සන්ති ගෝතමං

විජ්ජා චරණ සම්පන්නං - මහන්තං වීත සාරදං


7. තේසං සච්ඡේන සීලේන - ඛන්ති මෙත්ත බලේනච

තේපි මං අනුරක්ඛන්තු - ආරෝග්‍යෙන සුඛේනච


(අනුන්ට කියන විට තේපි ත්වං යනුවෙන් කියවන්න)

Saturday, November 21, 2009

අපටම උරුම චාරිත්‍ර

පුද්ගලයෙකු ඉපදුනු අවස්ථාවේ සිට ජීවිතයේ විවිධ අවස්ථා වලදී විවිධ මංගල අවස්ථා පවතී. රන්කිරි කටගෑම, නම් තැබීම, ඉඳුල් කට ගෑම, කන්විදීම, අකුරු කියවීම හෙවත් අත්පොත් තැබීම, මල්වරවීම, ආවාහ විවාහවීම, ගෙවැදීම ආදිය එවැනි අවස්ථා ලෙස සඳහන් කලහැක. මෙවැනි අවස්ථාවලදී සිංහල බෞද්ධයා විවිධ සිරිත් විරිත් පිළිපදිනු දක්නට ලැබේ. මෙම ලිපියේ පරමාර්ථය යටකි අවස්ථා වලදී අනුගමනය කරන චාරිත්‍ර පිළිබඳව පාඨකයා දැනුවත් කිරීමයි.

මෙම සෑම අවස්ථාවකදී බෞද්ධයන් තෙරුවන් සිහිකොට ආගමික වතාවත් සිදුකරනු ලබයි. එයට හේතුව බෞද්ධයාට ඇති උතුම්ම පිහිට තෙරුවන් බව පිළිගැනීමයි. බොහෝ විට භික්ෂූන් වහන්සේ නමක් වඩම්මවා සෙත් පිරිත් දේශනා කරවා ගැනීමත් දක්නට ලැබේ. මෙවැනි මංගල සම්මත අවස්ථා කීපයක් දැන් සළකා බලමු.

රන්කිරි කටගෑම

අළුත අපන් දරුවාගේ පළමු වරට මුවෙහි කිරි (මව්කිරි) ගෑම රන්කිරි කටගෑමයයි හැඳින්වේ. තම මවගේ තණකිරි සවල්පයක් හා බැලතණකොළ කීපයක් භාජනයකට දමා රන් අභරණයක් හෝ රන් කෑල්ලක් එහි ගාවා නිරෝගී නෑයෙකු විසින් එම කිරි බිඳ දරුවාගේ මුඛයේ තවරනු ලබයි. එම කිරිවලට රන් මිශ්‍රකිරීම නිසා “රන්කිරි” යැයි කියනු ලැබේ.

නම් තැබීම

ඈත කාලයේ දරුවාට නමක් තැබීම සිදුවන දිනයේ ඉතා උත්කර්ෂවත් උත්සවයක් පවත්වනු ලැබීය. නමුත් වර්තමානයේ එසේ සිදු නොවන අතර ඒ වෙනුවට දරුවාගේ ජන්ම වේලාවට අනුව නැකැත්කරුවන් ලබාදෙන අකුරු යොදා නමක් තැබීම සිදුකරනු ලබයි.

ඉඳුල් කටගෑම

ගැහැණු දරුවෙකු ඉපදී මස 05 න් 07 න් 09 න් හෝ 11 න් ඉඳුල් කටගෑම හෙවත් බත් කැවීම සිදුකරයි. එසේම පිරිමි දරුවෙකුට නම් ඉපදී මාස 06 න් 08 න් 10 න් හෝ 12 න් බත්කැවීම සිදුකරයි. මෙහිදී ලොකු පැදුරක් බිම එලා ඒමත සුදු රෙද්දක් දමන් ලබයි. ඉක්බිතිව එහි තැනින් තැන කෙසෙල් කොල තබා ඒ මත කිරිබත්, කැවුම් කෙසෙල් ගෙඩි ආදී කැවිලි වර්ග තබනු ලබයි. තවද එහි තව තැනින් තැන පොත්පත්, පෑන් පැන්සල් වැනි පාසල් උපකරණ ද මුදල් ද තබනු ලබන අතර ඇතිරිල්ල දෙපස දල්වන ලද පහන් සහිත කළස් දෙකක් ද තබනු ලැබේ. සුභ මොහොතින් දරුවාගේ මව, පියා හෝ වැදගත් වැඩිහිටියෙකු දරුවාට කිරිබත් කෑල්ලක් කවනුලබන අතර ඊට පෙර ඇතිරිල්ල මත දරුවා තබා කැමති දෙයක් ගැනිමට ඉඩ හරිනු ලබයි. එහිදී දරුවා අතට ගත් දෙය අනුව ඔහුගේ රුචිකත්වය හා අන‍ාගතය පිළිබඳ යම් අනුමානයක් ඇතිකර ගැනීම සාමාන්‍ය සිරිතයි.

කණ් විදීම

දරුවාට මාස 06, 07 හෝ 08 ක් පමණ වනවිට කණ විදීම කරනු ලබයි. කර්ණ විජ්ජන මංගල්‍යය වශයෙන් අතීතයේදී ඉතා උත්කර්ශවත් ලෙස පැවැත්වූ මෙම මංගල්‍යය වර්තමානයේදී උත්සවයක් ලෙස පැවැත්වීමක් දැකිය නොහැකිය. වර්තමානයේදී දක්නට ලැබෙන්නේ දරුවා දොස්තර මහතෙකු වෙත කැඳවාගෙන ගොස් කණ සිදුරු කරවා ගැනීම දක්නට ලැබේ. කෙසේ වුවත් කණ විදීමෙන් පසු කර්ණාභරණ පළඳවන තුරු කන් පෙති සිදුරේ කරපිංච නැට්ටක් හෝ කරාබු මලෙහි සිහින් නැට්ටක් රඳවනු ලබයි.

හිස කෙස් කැපීම

දරුවාගේ හිසකෙස් පළමුව කැපීම ද ජීවිතයේ තවත් වැදගත් අවස්ථාවකි. මේ සඳහා පන්සලේ හාමුදුරුවන්ට කල්තියා ආරාධනාකොට අදාළ දිනයේදී දරුවාගේ දෙමාපියන් තවත් නෑදෑයන් කීපදෙනෙක් ද සමග විහාරස්ථානයට යති. පසුව පැමිණි පිරිස පන්සිල්හි පිහිටුවා තෙරුවන් වන්දනාකොට සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ නියමිත වේලාවට ස්වාමීන් වහන්සේ දරුවාගේ කෙස් රොදක් කපාදමයි. එය නොපෑගෙන තැනකට හෝ ගලා යන ජලයට දමනු ලබයි.

සාමාන්‍යයෙන් දරුවාගේ උපතින් පළමු, තෙවන, පස්වන වැනි විෂම වර්ෂවල හෙවත් ඔත්තේ වර්ෂවල කෙස් කැපීම සිදුකරන අතර දරුවා බහ තෝරන වයසේදී කෙස් නොකැපිය යුතුයැයි මතයක් පවතී.

අතපොත් තැබීම

දරුවෙකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාවකි, අතපොත් තැබීම. දරුවාට වයස අවුරුදු තුනක් පමණ වනවිට සුභ දිනයක, සුභ වෙලාවක “ අතපොත්” තැබීම සිදුකරයි. මෙහිදී සුභ වෙලාවේදී සුභ දිශාවට දරුවාගේ මුහුණ හරවා “ස්වස්ති සිද්ධම්” යැයි කියා දරුවාට අකුරක් දෙකක් ඉලක්කමක් දෙකක් ද කියවා ගල් ලෑල්ලක අකුරක් ලියවීම ද සිදුකෙරේ. වර්තමානයේදී ගල් ගෑල්ලක් සොයාගත නොහැකි නිසා බොහෝවිට භාවිතා කරන්නේ අභ්‍යාස පොතයි. එහි කිසිදු වැරුද්දක් නැත.

මෙය බොහෝ විට ස්වාමීන්වහන්සේ නමක් ලවා සිදුකරවන අතර නියමිත දිනයේදී කිරි බතක් පිළි‍‍ෙයලකොට ගෙන පන්සලට ගොස් තුනුරුවන් වැඳ කිරිබතෙහි පළමු කොටස බුදුරදුන්ටත් දෙවනුව සංඝ රත්නයටත් පූජාකර දෙවියන්ට පින් දී සෙත් පිරිත් දේශනාව මධ්‍යයේ අතපොත් තැබීම සිදු කෙරේ. උගත් ගිහියන් ලවා ද මෙය සිදු කරවන අවස්ථා ද පවතී. අකුරු කියවන ස්ථානයේ පහනක් දැල්වීම ද සාමාන්‍ය සිරිතයි. අකුරු කියවීමෙන් පසුව දරුවාලවා අකුරු කියවූ හිමි නමට හෝ උගත් පුද්ගලයාට බුලත් හුරුල්ලක් දී වන්දනා කරවනු ලබයි. උගත් අයෙකු ලවා අතපොත් තැබූ විට ඔහුට හෝ ඇයට කිරිබත් වලින් සංග්‍රහකොට දරුවාට ද කිරිබත් කෑල්ලක් කවයි.

පාසල් යන වයස සම්පූර්ණ වූ විට පාසලට යන දිනයේ උදෑසන තෙරුවන් වන්දවා පසුව දෙමාපියන්ට ද වන්දවා පාසලට කැන්දවාගෙන යනු ලබයි. එහිදී පාසලේ විදුහල්පතිතුමාට ද බුලත් හුරුල්ලක් පිළිගන්වා දරුවා ලවා වන්දවනු ලබයි.

Friday, November 20, 2009

හෙළයාගේ දඬු මොනරය

ඔබෙන් කවුරුන් හෝ ගුවන් යානය නිපදවූයේ කවුද? යි ඇසුවහොත් ඔබේ පිළිතුර වන්නේ රයිට් සහෝදරයෝ යන්නයි. සමහරවිට ඔබ නිවැරදිය. එයට හේතුව මුළු ලෝකයම පිළිගන්නේ එම පිළිතුර නිසයි. නමුත් මෙහි නියම උරුමකරුවා වන්නේ සිංහල‍ෙයකු බව ඔබ දන්නේ නැත. පරගැති බවෙන් වැසී ඇති හෙළයාගේ චින්තනය මේ නියම උරුමකරු අමතක කොට එහි පේටන්ට් අයිතිය සුද්දාට පවරා බලාසිටී. එසේ වුවද ඔබ අමතක නොකළ යුත්තක් තිබේ. එනම්, සුද්දා කොල අතු අඳින යුගයේ හෙළයා රෙදි වියාගෙන ඇන්ඳ බව. එයට අපේ ඉතිහාසයේ කුවේණියගේ කථා පුවතින් සාක්ෂි සපයයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ. මෙයින් පෙනෙන්නේ බටහිර ජාතින්ට පෙර, ශිෂ්ඨාචාර වූ ජාතියක් ලෙස සියවස් ගණනාවක් සිංහලයා ජීවත් වූ බවයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ.

ඉන්දියාවේ පුරා වෘතයක් වූ රාමායණය කථා පුවතේ සඳහන් වන්නේ රාමාගේ බිරිඳ වන සිතාවන් හෙළයෙකු වූ රාවණා නිරිඳුන් (ක්‍රි.පූ. 2554 2517) විසින් ඉන්දියාවෙන් හෙළ දීපයට පැහැරගෙන එන ලද්දේ පුෂ්පක නම් ගුවන් යානයෙන් බවයි. මෙය ප්‍රසිද්ධ කථා පුවතකි.

මෙම පුෂ්පක නම් ගුවන් යානය දඬු මොනරය නමින් ද හඳුන්වනු ලැබීය. එම නම එයට ලැබුණේ මොනරාගේ ආකෘතියෙන් දැවයෙන් නිම කරන ලද බැවිනි.

එසේම ලෝකය පිළිගන්නේ දඬු මොනරය නිපදවන ලද්දේ රාවනා බවයි. එහෙත් රාමායණය කියන්නේ ‍රාවණා නිරිඳුගේ සොහොයුරු වූ වෛශ්‍රවණ හෙවත් කුවේර නරේන්ද්‍රයාට ද පුෂ්පක නම් ගුවන් යානයක් තිබූ බවයි. ඔහු සිව ගිරිය හෙවත් සීගිරිය අග නගරය කොටගෙන රජකම් කල බව ද කියැවේ. එහි තව දුරටත් සඳහන් වෙන්නේ රාවණා රජු විසින් එම යානය පැහැරගෙන පරිහරණය කරඇති බවයි. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙ‍නාටම නගර නිර්මාණය සඳහා උපදෙස් ලබාදුන් විස්කම් හෙවත් විශ්ව කර්ම නමැති මහා මූලාචාරියා ජිවත්වූයේ ද එම යුගයේ ය. විශ්ව කර්ම යනු අතීතයේ මහා විෂ්මිත නිර්මාණ කල පුද්ගලයෙකු බව බොහෝදෙනා දන්නා කරුණකි. ඒ අනුව ඉහත දැක්වූ දඬු මොනරය විශ්ව කර්මයාගේ නිර්මාණයක් ද විය හැකිය. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙනාම සතුව ගුවන් යානා නිෂ්පාදන තාක්ෂණය තිබෙන්නට ඇතැයි මෙමගින් සිතිය හැකිය.

තවත් ලෙසකින් සඳහන් වන්නේ මෙම දඬු මොනරය පිළිබඳ ඉතිහාසය රාවණා රජුගේ යුගයෙනුත් සියවස් විසි පහක් ඈතට දිවයන බවයි.

ශ්‍රී ලංකාවේ වාරියපොළ යනු නගරයකි. මෙම නම සන්දිකර බැලුව හොත් වා+රිය+පොළ යනුවෙන් දක්නට ලැබේ. මෙහි වා නම් වාතයයි. රිය නම් රථයයි. පොළ නම් එම රථය නතරකරන ස්ථානයයි. ඒ අනුව වාතයෙන් ගමන් කරනා රථ නතරකරන ස්ථානය ලෙස තවදුරටත් එය විග්‍රහ කළ හැකිය. (වාතයෙන් ගමන් කරන්නේ ගුවන් යානායි.) මේ විග්‍රහයට අනුව සිතිය හැක්කේ වර්තමාන වාරියපොළ නගරය අතීතයේ ගුවන් යානා නතර කරන ලද ප්‍රදේශයක් වියහැකි බවයි.

එමෙන්ම ක්‍රි.පු. දෙවන සියවසෙහි දී දකුණු ඉන්දියාවේ සිංහළයින් වාසය කරන ලදැයි සාක්ෂි ඇති කුවන් කොඩ් නමින් ‍ෙදමළට හැරවූ ගුවන් ගොඩ රාවණා යුගයෙහි ගුවන් යානා නවත්වන ලද ප්‍රදේශයක් වූ බවට තවත් ඉඟියකි.

වර්තමානයේ අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය වැනි ප්‍රදේශවල දක්නට ලැබෙන ලොවම විශ්මිත කරවන නිර්මාණ දෙස බලන විට ඉහත දැක්වූ විෂ්මිත නිර්මාණය ද හෙළයෙකුගේ අතින් නිමවූ එකක් නොවන බව කෙසේ කිව හැකිද?

කෙසේ වෙතත් මේ පිළිබඳව ඉතිහාසයන්ගේ හා පුරාවිද්‍යායන්ගේ අවධානය යෙමුවිය යුතු අතර ඒවා පිළිබඳව විධිමත් පර්යේෂණයන් පැවැත්විය යුතුය.




(අරිසෙන් අහුබුදු ශූරීන්ගේ ලිපියක් ඇසුරින්)

Thursday, November 19, 2009

ඔබ රූප සම්පත්තිය ලබන්න කැමතිද?

කෙනෙකු රූප සම්පත්තිය ඇතිව උපදින්නේ කුසල් සම්පත් හේතුවෙනි. ඒ සඳහා යම් යම් යහපත් කරුණු ඉෂ්ඨ සිද්ධවීම වැදගත්ය. එනම්, මෛත්‍රීසහගත බව අන් අයගේ දියුණුවට ඇති සහජ කැමැත්ත, අන් අයගේ ගුණාත්මක ගති පැවතුම් ඉස්මතුකොට පෙන්වා ඔවුන් ධෛර්යමත් කිරීම රූප සම්පත්තිය වැඩෙන පුණ්‍ය ක්‍රියාවෝය. එපමණක් නොව කරන කියන කටයුතු ද ක්‍රමානුකූලව, පිළිවෙලකට, නිසි පරිදී, සැළකිල්ලෙන් ඉටුකිරීම රූප සම්පත්තිය හිමි වීමට තවත් හේතුවකි.

එසේම ජරාවාස වූ ගිලන්හල්, විහාරස්ථාන, දාගැබ්, පාසල්, පාලම්, වැව් පොකුණු, උයන් වතු, ජලාශ ආදී මනුෂ්‍යයන් ප්‍රමුඛ සකල සත්වයන්ටම ප්‍රයෝජනවත් වන තැන් අළුත්වැඩියා කිරීම, යථා තත්වයට පත්කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම ද රූප ශෝභාව ලැබෙන පින්කම්ය.

තවද වස්ත්‍ර පූජාව, සුවඳ වර්ග, මල් පූජාව, ජලාශ ඉඳිකිරීම, වැස්කිළි-කැසිකිළි පිරිසිදුව තැබීම හා කායික වශයෙන් ද මානසික වශයෙන් ද පිරිසිදු ජීවිතයක් ගතකිරීම උපනූපන් භවයන් හි රූප ශෝභාවෙන් පිරිපුන් තෙදවත් බවක් ලැබීමට හේතුවන බව බුදුරදුන් වදාරා ඇත.

පිරිසිදුව ජීවත් වීම, පිරිසිදුබව ගැන අන් අයට කරුණු වටහා දී ඔවුන් අපිරිසිදුකමින් වලක්වා ගැනීම ද රූප ශෝභාව මෙළොවදීත් මතු භවයන්හිදීත් ප්‍රියශීලී පැහැපත් පෙනුමක් ලැබීමට හේතුවෙයි. මලක්, පහනක් පුද පූජා කිරීමෙහිදී වුවත් පරමල් ඉවත්කොට තැළුන මල් අස්කොට මල් අසුන පිරිසිදු කර ක්‍රමානුකූල පිළිවෙළකට මල් පහන් වුවද පූජා කල යුතුය. අපිරිසිදු පූජනීය භූමි, වෙහෙර මළු, බෝධි මළු, මං මාවත් ආදිය පිරිසිදු කිරීම ද රූප ශෝභාව වඩන කුශල ක්‍රියාවෝ යැයි වදාළහ. තවද සත්‍යවාදී වීම, බොරුවෙන් වැළකීම ද ඔවුනොවුන් බිඳවන කේලාම් වලින් වැළකීම ද තුන්වන සිඛ පදය නිසි පරිදී රැකීම ද මහේසාක්‍ය බවින් යුත් ආත්මයක් ලැබීමට හේතුවෙති’යි බුදුරදුන් වදාළහ.


(අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි පුවත්පතකට ලියන ලද ලිපියක් ඇසුරෙනි.)

Tuesday, November 10, 2009

වෙසක් නිවාඩුවෙන් බිහිවූ බෞද්ධ කොඩිය


ඕනෑම උත්සව අවස්ථාවක හෝ විශේෂ අවස්ථාවක සැරසිලි කිරීමේදී බහුලව භාවිතා කරන්නකි, කොඩිය. එපමණක් නොව රටක් සංකේතවත් කිරීම සඳහා ද බොහෝවිට භාවිතා කරන්නේ කොඩියයි. ලෝකයේ ආගම් කෙරෙහි අවධානය යොමුකර බලන විට ද බොහෝ කොඩි වර්ග දැකිය හැකිය. එහෙත් ආගමික සංකේතයක් ලෙස එකම කොඩියක් මුළු ලෝකයේම භාවිතා කරන ආගමක් ඇත්නම් ඒ බෞද්ධාගම පමණි. එය “බෞද්ධ කොඩිය” යැයි අපට ආඩම්බරයෙන් පුකාශකල හැකිය. මෙම පූජනීය බෞද්ධ කොඩිය පිළිබඳ අප්‍රකට තොරතුරු හෙළිදරවු කිරීම මෙහි අරමුණයි.

පළමුව බෞද්ධ කොඩිය නිර්මාණය වීමට හේතුවූ පසුබිම එළිපෙහෙළි කරගත යුතුය.

වෙසක් පොහෝ නිවාඩු දිනය අහෝසි වෙයි

ඈත අතීතයේ සිට එනම් වසර දහස් ගණනක සිට ලක් වැසි බෞද්ධයා බුක්ති විඳි අති උත්තම වු වෙසක් පොහෝ නිවාඩු දිනය ක්‍රි.ව.1770 නොවැම්බර් මස 01 වන දා සිට අහෝසි කිරීමට එවකට මේ ලක් දෙරණ පාලනය කරමින් සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුව පියවර ගන්නා ලදී. එතැනින් නොනැවතුනු ඔවුහු ඉරිදා දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ද නීතිගත කරන ලදී.

මෙහිදී මෙහොතක් වෙසක් නිවාඩුව පිළිබඳ වු ඉතිහාසය සොයා බැලිය යුතුය. එසේ සොයාගෙන යද්දී 3 වන උදය රජුගේ (ක්‍රි.ව.942-950) බදුලු ශිලා ලේඛණය හමුවේ. එහි මෙසේ සඳහන් වේ. “ පොහොදා සල් කළාකුගෙන් වැපුදයට තෙල් පද්දක් ගන්නා ඉසා, මියු ගුණ් මහ වෙහෙරැ වැපුද පවත්වනු ඉසා” මෙහි සරළ තේරුම වන්නේ, “පොහොය දින වෙ‍ෙළඳාමේ නිරත වූ වෙළෙන්දන්ට ඊට දඬුවම් වශයෙන් මහියංගන වෙහෙරේ පහන් පූජාවට තෙල් පද්දක් (කාලක් හෝ නැළියක්) ගෙවිය යුතුය” යන්නයි. (වෙසක් නිවාඩුව හා බෞද්ධ කොඩිය - ගෝනහේනේ ජෝතිපාල හිමි) මේ අනුව පෙනී යන්නේ වසර දහස් ගානක් තිස්සේ වෙසක් පොහෝ නිවාඩුව ලක් දෙරණ තුළ ක්‍රියාත්මක වූ බවයි.


වෙසක් පොහෝ නිවාඩුව යළි දිනා ගැනීමට සටන් කිරීම

මේ සටන අවිහිංසාවාදී සටනක් විය. මෙහිදී පෙරමුණ ගත්තේ බෞද්ධ ආරක්ෂක සභාවයි. බ්‍රිතාන්‍ය පාලනයෙන් බෞද්ධයින්ට සිදුවූ අසාධාරණකම් මග හරවා ගැනීමටත් බෞද්ධ අයිත්වාසිකම් දිනාගැනීමටත් පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ මූලිකත්වයෙන් බිහිවූ සංවිධානයක් ලෙස බෞද්ධ ආරක්ෂක සභාව හැඳින්විය හැකිය.

ඒ අනුව විද්‍යෝදය පිරිවෙනට රැස්වූ කොළඹ ඉහළ පෙළේ ප්‍රභූ පිරිසක් ලහිලහියේ මෙම සංවිධානය පිහිටුවා ගැනීමට උත්සුක විය. එහි ප්‍රතිඵලයක් ලෙස බිහිවූ බෞද්ධ ආරක්ෂක සභාවේ කමිටු සාමාජිකයින් වූයේ විලියම් ද ආබ්‍රෙව්, දොන් කරෝලිස්, මුහන්දිරම් දොන් ඩේවිඩ් අභයරත්න, ජේ.පී.ජයතිලක, ජේ.ආර්. ද සිල්වා, සයිමන් පෙරේරා, ධර්ම ගුණවර්ධන ආරච්චි, බී.එච්.කුරේ, සේදිරිස් සිල්වා, ආර්.ඒ.මිරැන්ඩෝ, නීතිඥ චාර්ලිස් ඇලෙක්සැන්ඩර් ද සිල්වා, සී.පී.ගුණවර්ධන මහත්වරුන්ය.

මේ වන විට මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන්ගේ පානදුරා වාදයේ ලිපි කියවා පැහැදී ලංකාවට පැමිණ සිටි ඇමෙරිකානු ජාතික හෙන්ඩ්‍රි ස්ටීල් ඕල්කට්තුමා මදුරාසි සංචාරයක යෙදී සිටිය ද මෙම කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත්කළ යුතුයැයි පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් යෝජනා කළේය. ඒ අනුව ඔහු බෞද්ධ ආරක්ෂක සභාවේ ඉල්ලීම් ඇතුළත් පණිවුඩය රැගත් නියෝජිතයා ලෙස එංගලන්තයේ යටත් විජිත භාර ලේකම් ඩාර්බි සාමි වෙත යැවීමට ද තීරණය කරගන්නා ලදී. 1884 අප්‍රේල් මාසයේදී ඔහු එංගලන්තයට ලඟාවූ අතර 1884 මැයි 17 වන දා ඉල්ලීම් ඇතුළත් ලියවිල්ල යටත් විජිත භාර ලේකම්වරයා වෙත භාරදුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1885 අප්‍රේල් මස 28 වැනි දිනට යෙදී තිබුණු වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී නැවතත් වෙසක් පොහෝ දින නිවාඩුව නීතිගත කරන ලදී.

වෙසක් උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස සැමරීමට කටයුතු කෙරේ

මෙම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් බෞද්ධ ආරක්ෂක සභාව ඉතා උත්කර්ෂවත් අයුරින් වෙසක් පොහොය දිනය සැමරීමට තීරණය කරන ලදී. ඒ අනුව හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන් ඇතුළු කමිටුවක් ද පත්කරගන්නා ලදී. එම කමිටුව වැඩසටහන් මාලාවක් ද සංවිධානය කොටගෙන තිබුණි. එහි එක් යෝජනාවක් වූයේ කොටහේනේ දීප දුත්තාරමයේදී බෞද්ධ කොඩියක් එසවීමයි. ඒ සඳහා නව කොඩියක් නිර්මාණ කර ගැනීමට අවශ්‍ය විය. මෙම කොඩිය සඳහා නව සැළසුම් ඉදිරිපත් කිරීමට කමිටු සාමාජිකයින්ට සිදුවිය. විවිධාකාරවූ සැළසුම් ඉදිරිපත් වුවද මාතර, මඩිහ නම් ගමේ උපන් කරෝලිස් පූජිත ගුණවර්ධන ශූරීන් (සී.පී. ගුණවර්ධන) විසින් බුදුරජාණන් වහන්සේගේ ෂඩ් වරණ රශ්මි ධාරාව පිළිබිඹු වන ආකාරයට නිර්මාණය කල සැළැස්ම හොඳම සැළැස්ම ලෙස තෝරා ගන්නා ලදී.

කෙසේ වෙතත් ඇතමුන් බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා ඕල්ක‍ට්තුමා බව පෙන්වීමට උත්සාහ ගත්හ. 1892 ඩාර්ජලින් නුවර පැවැත්වුණු බෞද්ධ සම්මේලනය ගැන “තියෝසොපිස්ට්” සඟරාවට වාර්තාවක් සැපයූ හෙන්රිටා මුලර් මෙනෙවිය එහි සඳහන්කොට තිබුණේ ඕල්කට්තුමා බෞද්ධ කොඩිය සැළසුම් කල බවයි. නමුත් ඒමතය වැරදි බව ඕල්කට්තුමාම පුකාශ කළේ මේ ආකාරයටය. “මා බෞද්ධ කොඩිය සැළසුම් කල බව කියන මුලර්ගේ වාර්තාව වැරදිය. එහි ගෞරවය හිමිවිය යුත්තේ කොළඹ පරම විඥානාර්ථ සමාගමේ සාමාජිකයන්ට ය. මා කල එකම දෙයනම් හැඩය වෙනස් කිරීමට යෝජනා කිරීම පමණකි.”

බෞද්ධ කොඩියේ වර්ණ


නීල = නිල්

පීත = කහ

ලෝහිත = රතු

ඕදාත = සුදු

මාං‍ෙජ්‍යෂ්ඨ = තැඹිල


ඉහත ආකාරයේ වර්ණ මෙම කොඩියට අන්තර්ගත කිරීමට හේතුව වූයේ බුදුරජානන් වහන්සේගේ ජීවමාන කාලයේදී තම ශරීරයෙන් නික්මුණා වූ සවනක් ඝණ බුද්ධ රශ්මිය මෙමගින් නිරෑපණය වන නිසයි. බුදුරජාණන් වහන්සේ බුදුධත්වයෙන් හතරවන සතියෙහි මහ බෝධියට වයඹ දිගින් වූ රතන ඝර නම් විහාරයෙහි වැඩවසමින් පට්ඨාන ධර්මය මෙනෙහි කරමින් සිටින විට උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් මෙහි සඳහන් කල ෂඩ් වර්ණ බුද්ධ රශ්මි මාලාවන් විහිදුනු බව කියැවේ. මෙහිදී එම වර්ණ විහිදුනා වූ ආකාරය ඉදිරිපත්කිරීම ද වටී. එය මෙසේ සඳහන් කල හැකිය. උන්වහන්සේගේ ‍ෙක්ශධාතු ආදී නීල වර්ණ අවයව වලින් නීල් (නීල) වර්ණය ද ඡවි හෙවත් සම ආදී කහ පැහැති අවයව වලින් කහ (පීත) වර්ණය ද ලේ ආදී රක්ත ස්ථාන වලින් රතු (ලෝහිත) වර්ණය ද ඇට වලින් හා දත් වලින් ඕදාත (සුදු) වර්ණය ද ශරීරයේ අතුල් පතුල් හා තොල් වලින් තැඹිලි (මාං‍ෙජ්‍යෂ්ඨ) වර්ණය ද මේ සියළුම වර්ණ එකතුවී (ප්‍රභාශ්වර) වර්ණය ද විහිදුනු බව බුද්ධ චරිතයේ සඳහන් වේ.


මේ ආකාරයට නිර්මාණය වූ බෞද්ධ ‍ෙකාඩිය ගරු ගාම්භීරත්වයෙන් පුථම වරට 1885 අප්‍රෙල් මස 28 වන දිනට යෙදුනු වෙසක් පුර පසළොස්වක පොහේ දින කොළඹ විද්‍යෝදය පිරිවෙනෙහි ද කොටහේනේ දීපදුත්තාරාමයේ ද කොළඹ පිහිටි වෙනත් විහාරස්ථානවල ද ඔසවන ලදී.


Monday, October 26, 2009

දාගැබ

ශ්‍රී දළදා මාළිගාව

පොළොන්නරුව ගල් විහාරයේ පිළිම

හිටි පිළිම, හිඳි පිළිම, සහ ඔත් පිළිම යන තුන් ආකාරයේම පිළිම දක්නට ලැබෙන ස්ථානයකි, පොළොන්නරු ගල් විහාරය. මෙය උත්තරාරාමය ලෙස ද හඳුන්වන අතර මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව.1153-1186) කරවූ බව කියැවේ.

හිටි පිළිමය

සැතපෙන පිළිමයේ හිස පැත්තේ පිහිටි මෙම හිටි පිළිමය උසින් අඩි 22 ක් පමණ වේ. 12 වන ශත වර්ෂයට අයත් වන මෙම පිළිමය බුදු හිමියන්ගේ අග්‍ර උපස්ථායක අනඳ හිමියන්ගේ යැයි මතයක් පවතී. එයට හේතුව මෙම පිළිමයේ දැක්වෙන විශේෂිත මුද්‍රාවයි. එමෙන්ම බුදු හිමියන්ගේ පිරිනිවන්පෑම නිරූපණය වේයැයි බොහෝ දෙනා විශ්වාස කරන සැතපෙන පිළිමය ළඟම පිහිටුවා තිබීමත් අනඳ හිමියන්ගේ ප්‍රතිමාවක් ලෙස ප්‍රකාශ කිරීමට රුකුලක් විය.

එමෙන්ම හිටි පිළිමයේ තිවංක ගතියක් නිරූපණය වේ. එනම් සිරුර තුන් තැනකින් නැමී ඇති ආකාරයට නෙළා තිබීමයි. ගලින් නෙලූ නෙළුම් මලක් මත නෙළා ඇති පිළිමය වෙනම කුටියක පිහිටුවා තිබූ බවට සාධක පවතී.

මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ මතය වන්නේ මෙහි ඇති මුද්‍රාව පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව බවයි. නමුදු මහාචාර් කඹුරුපිටියේ වනරතන හිමියන්ගේ මතය වන්නේ මෙය ත්‍රෛයිලෝක්‍ය විජය මුද්‍රාව බවයි.

මේ ප්‍රතිමාවේ දෙසවන් ලම්බකර්ණ ලෙස නෙළා ඇත. තවද හිසකෙස් වකුටුව නිමකර ඇති අතර පහසුවෙන් වැඩසිටින ඉරියව්වකින් නිමකර ඇත.

හිඳි පිළිම

ගල් විහාරයේ හිඳි පිළිම දෙකක් එකක් විජ්ජාධාර ගුහාවේ පිහිටා ඇත. එය දෙවියන් පිරිවරා සිටි බුදුරදුන්ගේ විලාෂය පිලිබිඹු කරන අගනා පිළිමයක්. මෙය ප්‍රමාණයෙන් කුඩාය. උසින් අඩි 15 ක් පමණ වන අ‍ෙනකුත් පිළිමය ද කළාත්මකව නිමකර ඇත. පිළිමවලට පිටුපසින් ඇති පර්වතය කළාත්මක කැටයමින් අලංකෘත කොට ඇත. වැඩහිඳිනා ආසනය කුඩා නෙළුම් පෙති වැනි කැටයමින් සරසා ඇත. තව ද පිළිමයේ නළල් තලය පුළුල්ව ද දෙසවන් හා නාසය දිගටිව ද නෙළා ඇත. මේ හිටි පිළිම වහන්සේගේ දැක්වෙන මුද්‍රාව වනුයේ ධ්‍යාන මුද්‍රාවයි. ඒක අංශ කර ඇති. සිවුරේ රැළි හොඳින් පෙන්වා ඇත. අඩි 15 ක් පමණ උස පිළිමයේ හිස වටා වළල්ලක් ද ඇත. එය කැටයමින් සරසා ඇත. කුඩා පිළිමය නෙළා ඇත්තේ ගලින් ම නෙළන ලද ඡත්‍රයක් යටය. හිස වටා ඇති රැස් වළල්ලේ කැටයම් යොදා නැත.


ඔත් පිළිමය













ඉපැරණි හෙළ කලාකරුවාගේ කලා කෞෂල්‍ය විදහා දක්වන තවත් ප්‍රතිමාවකි, ගල් විහාරයේ ඔත් පිළිමය. මෙහි හිසේ සිට දෙපතුළ දක්වා උස අඩි 46 ක් වන අතර ගල් විහාරයේ විශාලම බුදු පිළිමය ද වේ. සැතපී සිටින කොට්ටය මත වම් අත තබා ගෙන, ඒ අත්ල මත හිස තබා ගෙන සිටී. මෙහි ද සිරුරේ රැළි සමාන්තර ලෙස නෙළා ඇත. හිදි පිළිමයට වම් පසින් පිහිටා ඇති මෙම ප්‍රතිමාව පොළොන්නරුවේ රජකල මහා පරාක්‍රමබාහු රජු කරවූයේ යැයි සැළ‍ෙක්. මෙම ප්‍රතිමාවේ දක්නට ලැබෙන තවත් වැදගත් නිර්මාණයකි, බුදු හිමි සැතපී සිටින කොට්ටය. එය අතේ හා හිසේ බරට එරී ඇති පරිද්දෙන් නෙළා තිබීම එහි ඇති වැදගත් කමයි. තවද එම කොට්ටය සියුම් කැටයම් යොදා අලංකාර කොට ඇත. ඇතමෙකුගේ මතය වන්නේ මේ පිළිමය බුදුහිමියන්ගේ පිරිනිවන නිරූපණය කරන බවයි. නමුත් මෙය සැතපෙන පිළිමයක් බව තව ‍ෙකනෙකුග් මතය වි ඇත. ප්‍රතිමාවේ නළල පටුවට නෙළා ඇති අතර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය කලාත්මක නිර්මාණයකි.

Tuesday, August 25, 2009

ගැමි ජන හිත සුව සළසන මිරිස්සේ ගම්මඩු ශාන්ති කර්මය

හැඳින්වීම :-

ඈත අතීතයේ සිට ශ්‍රී ලංකා‍වේ ග්‍රාමීය මානවයා විවිධ වූ ශාන්ති කර්ම කෙරෙහි විශ්වාසය තබාගෙන සිටියේය. තමාට හෝ ගමට යම් ලෙඩක් දුකක් අතුරු අන්තරාවක් ඇති වූ විට එය යම් දෙවියෙකු නිසා ඇති වූවක් ලෙස සළකා විවිධ යාගහෝම එසේ නැතිනම් ශාන්තිකර්ම පවත්වනු ලැබිණ. මෙම ශාන්තිකර්මවල ස්වභාවය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් ආකාරයක් ගනී. තවද ප්‍රධාන වශයෙන් නර්ථන සම්ප්‍රදායයන් තුනක්ද හඳුනාගත හැකිය. එනම්,

1. උඩරට සම්ප්‍රදාය

2. පහතරට සම්ප්‍රදාය

3. සබරගමු සම්ප්‍රදාය යන ඒවා වේ.


කෙසේ වෙතත් මේ සියලුම සම්ප්‍රදායයන් විස්තර කිරීමට වඩා මෙහිදී වෑයම් කරනුයේ දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ, වැලිගම කෝරළයේ, මිරිස්ස නමැති ග්‍රාමයේ වාර්ෂිකව පවත්වනු ලබන පහත රට සම්ප්‍රදායට අයත් ගම්මඩු ශාන්ති කර්මයට අදාළ තොරතුරු විමර්ශණය කිරීමටයි.

මෙ‍ම මා හැඟි ශාන්ති කර්මය “පත්තිනි” නම් දෙවියන් මූලිකව සිදුකෙරෙන්නක් බව සඳහන් වේ. ඉන්දියාවේ රජෙකු හට වැළඳුණු රෝගයක් සුව කිරීම වෙනුවෙන් ගම්මඩුවක් කරවූ බව ගම්මඩු ශාන්ති කර්ම‍යේ ඉතිහාසය මතු කරන්නන් ගෙන හැර දක්වා ඇත.


මිරිස්ස ප්‍රදේශයේ පවත්වනු ලබන ගම්මඩු ශාන්ති කර්ම‍ය පෙර පැවති පොර පොල් ක්‍රීඩාවත් සමග එකට බද්ධව පවතී. ඒ අනුව පොර පොල් ක්‍රීඩාවෙන් අනතුරුව මුලු ගම්මානයටම සෙත ශාන්තිය හා බව භෝග සම්පත්වලින් සශ්‍රීක කරන්නැ’යි දෙවියන්ගෙන් ඉල්ලමින් මෙම ශාන්ති කර්ම‍ය සිදුකරනු ලබයි. මෙය ගමේමානයේ සිටින සියලුදෙනාගේම ආධාර උපකාර මත සිදුවන්නකි.


මිරිස්සේ ඉතිහාසය හා පිහිටීම

මිරිස්ස වූ කලි ඉතා දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන ඉතා විශාල වපසරියකින් යුක්ත ග්‍රාමයකි. ඒ අනුව මිරිස්සේ ඉතිහාසය ඈත අතීතයේ කාවන්තිස්ස-විහාර මහා දේ‍වී පුවතටත් එහා ගිය එකක් බව කිව යුතුය. මෙම ග්‍රාමයට මිරිස්ස යන නම ලැබීම පිළිබව ජනප්‍රවාදයක් පවතී.


රුහුණු රට මාගම රාජධානිය කොට ගෙන රජ කල කාවන්තිස්ස රජුගේ අග මෙයහසිය වූ විහාර මහා‍ෙද්වියට දුටුගැමුණු කුමරු ලැබෙන්නට සිටින අවධියේදී මීයක් කෑමට දොළක් ඇතිවිය. මේ බව ඇය රජුට සැළකල අතර රජතුමා තම රාජ සේවකයන් කැඳවා, කෙසේ හෝ මීවදයක් රැගෙන එන්නැයි පිටත් කර හැරියහ. ඔවුහු ඒ සඳහා මීගමුවට ගොස් විශාල මිවදයක් රැගෙන ආපසු එමින් සිටියදී මිරිස්සේ මිරීකන්ද නම් ස්ථානයේදී (වර්තමානයේ පොල්අතු ගඟට මීටර් 300-400 ක් පමණ මාතර දෙසට වන්නට ගාලු පාරට මායාම්ව පිහිටා ඇත.) එම මීවදය ලිස්සා වැටුණු බව කියැ‍ෙව්. එම මීය ලිස්සා වැටුණු තැන හෙවත් මීය රිස්ස වූ තැන (මීය+රිස්ස) මිරිස්ස වූයේ යැයි සඳහන් වේ.

කෙසේ වෙතත් රාජකීය පණ්ඩිත මිරිස්සේ ධම්මසිරි නා හිමියන් වහන්සේ ද මේ පිළිබව විවරණයක් ලබා දී ඇත. එහි මීය තිබූ ස්ථානය පිළිබ අදහසට එකඟ නොවන උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ වෙනත් මතයකි. උන්වහන්සේට අනුව එම මී වදය තිබුණේ මීගමුවේ නොව දැනට මිරිස්‍ස-බණ්ඩරමුල්ල නම් ගමට යාබදව පවතින “ගිරාගල” යන ස්ථානයේ මුණින් අතට වූ විශාල ඔරුවක බවයි. උන්වහන්සේ එය සනාථ කිරීම සඳහා යොදාගන්නේ පාළි මහාවංශයට පෙර පැවති සිංහල මහාවංශ කථාවෙහි මහාවංශ ටීකාවේ සඳහන් විහාර මහා‍ෙද්වියගේ දොළ පසිඳලීම පිළිබඳ විස්තරයයි. එහි සඳහන් වන්නේ ගිරිවෘජය නම් ප්‍රදේශයේ වූ මී ගසකින් රොන් ගෙන යන ඹබරුන් මුහුදේ යටිකුරුව තිබූ ඔරුවක රියන් සියයක් දිග මීවදයක් බැඳ තිබු බවත් උපායශීලීව පිලවෙකුගේ මග පෙන්වීම යටතේ එතනට පැමිණි කාවන්තිස්ස රජතුමා එම මීවදය ලබා ගෙන ගිරාගල් තලාවෙන් මතුයෙහි තබා එහි අග්‍ර කොටස භික්ෂු සංඝයාට පූජාකොට පසුව විහාරමහා දේවියගේ දොළ පසිඳලිම උදෙසා අනුභව කිරීමට ලබාදුන් බවත්ය. තව දුරටත් උන්වහන්සේ පවසන්නේ මෙහි ගිරිවෘජය යන්නෙන් මිරිස්ස ග්‍රාමය හැදින්වෙන බවයි. ඒ සඳහා උන්වහන්සේ ඉදිරිපත්කරන තර්කය වන්නේ ඉසිගිලි, වේහාර, ගිජ්ජකූට, පාණ්ඩව යන පර්වතයන්ගෙන් වටවූ නිසා මගධයේ අගනුවර ගිරිවෘජ නම් උනිනම් ගිරාගල, නැව්ගල, වෙහෙරගල්ල, මිරිහිකන්ද යන කඳුවලින් වටවූ මිරිස්ස ද ගිරිවෘජයක් බවයි. එනිසා මෙම ටීකාවෙහි සඳහන් ගිරිවෘජය මිරිස්ස ලෙස හඳුනාගත යුතු බවයි උන්වහන්සේගේ අදහස වන්නේ. තවද මිරිස්සේ ඇති “ගරාඬුව” නම් ගඟේ පිහිටි සිරිබන්දලෙහි සිරිය බැලූ බව තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ පරෙවි සන්දේශ කාව්‍යයේ පහත ආකාරයෙන් සඳහන්වේ.


“නිරිඳුන් සදිසි සිළු මිණිකුල සතපාය

දිවියෙන් ගිජිඳු සරි යසසින් මිණිපාය

සිරිබන් තැන පිහිටි විජයබ නරපාය

සිරිබන්දලෙහි සැතපෙව පිය සතපාය


මේ සියළු කරුණු වලින් පැහැදිලි කිරීමට උත්සාහ කළේ මිරිස්ස ග්‍රාමය ඉතා පැරණි ගමක් බවයි.


මිරිස්සේ ගම්මඩු ශාන්ති කර්ම‍ය හා සම්බන්ධ ජන විශ්වාස


ඈත අතීතයේදී මිරිස්ස ප්‍රදේශයේ මිනිසුන් ලෙඩක් දුකක් ඇතිවු විට එයින් සහනය ලබා ගැනීම සහා කිසියම් වූ ශාන්තිකර්මයක පිහිට පැතීම සිරිතක් විය. ඒ අතර තොවිලය, සූනියම, පිදේනි දීම, ප්‍රේත තටු පිදීම වැනි ශාන්ති කර්ම මුල් තැනක් ගනී. බොහෝවිට මේවා සිදුක‍ෙරන්නේ පෞද්ගලික මට්ටමිනි. පොදුවේ මුළු ගම්මානයටම සෙත් ශාන්තිය පතමින් පැවැත්වූයේ ගම්මඩු ශාන්තිකර්මයයි. බොහෝ දුරට මේ සෑම දෙයකම මනෝවිද්‍යාත්මක යහ බලපෑමක් ඇති බව නවීණ මනෝ වෛද්‍යවරු ද ප්‍රකාශ කර තිබේ.

ඒ කෙසේ වෙතත් අනාදිමත් කාලයක සිට ගමේ සෞභාග්‍යය ප්‍රර්ථනා කරමින් වාර්ෂිකව ගම්මඩු උළෙල මිරිස්සේ ඓතිහාසික බෝධි රාජයා අබියස පැවැත්වීම සිරිතක්වී තිබේ. මිරිස්ස ධීවර කර්මාන්තය කේන්ද්‍රකොටගෙන ජීවිකාව කරගෙන යන ගැමියන්ගෙන් සැදුම්ලත් ගම්මානයක් නිසා මෙම ගම්මඩු ශාන්තිකර්මයෙන් පසු තම මත්ෂ්‍ය අස්වැන්න වැඩිවේ යැයි ඔවුන් තුළ දැඩි විශ්වාසයක් පවතී. ඒනිසාම ගම්මඩු උළෙල අවසානයේදී ගරා දේවතාව වෙස් පෑමෙන් අනතුරුව ගරා තටුව රැගෙන මහ මුහුදේ දියඹට යාත්‍රා කරද්දී ධීවරයින්ද තම ධීවර යාත්‍රා දියත්කර ඒ සමගම රැකියාව සහා පිටත්ව යයි. මේ මගින් තම ජිවන වෘත්තිය දියුණු වන නිසා ඊළ ගම්මඩු ශාන්තිකර්මය සහා තම දායකත්වය මුදලින් හා ද්‍රව්‍යමය වශයෙන් (සිනි, පිටි, සහල්, පොල් ආදිය) ලබාදීම සිරිතක්වේ. තවද අනෙකුත් සුළු ධීවරයින් තමන්ට හැකි පමණින් ආධාර දෙමින් දායකවීම ද දක්නට ලැබේ.

තවද ගම්මඩුවට ආධාර නොකරන්නන්ට දෙවියන් විසින් දඞුවම් ලබා දෙන බවටද කට වරද්දා නොගත යුතු බවටද ගැමියන් තුළ විශ්වාසයක් ගොඩනැගී ඇත. යම් හෙයකින් ගම්මඩුවට ආධාර නොකල ධීවර යාත්‍රාවකට යම් හානියක් වූ විට ඕක වුනේ ගම්මඩුවට උදව්කරේ නැති නිසා නෙ” යැයි කීමට තරම් ඔවුන් තුළ දැඩි භක්තියක් හා විශ්වාසයක් පවති.

එමෙන්ම ධීරයින්ට මෙන්ම ගම් වැසියන්ට ලෙඩ රෝග වලින් හා කරදර උපද්‍රව වලින් වැළකී ජීවත් වීමට ආශිර්වාද ලැබෙන බවටද දැඩි විශ්වාසයක් පවතී. ඒ සඳහා බෝධි රාජයා වෙනුවෙන් පඞුරු භාරකිරීම ද දැකිය හැකි තවත් විශ්වාසයකි.

තවද ගම්මඩු ශාන්තිකර්ම දිනයේදී ගම්මඩු භූමියට (ඓතිහාසික බෝධිරාජයා අභියසට ) පැමිණෙන ගැමියන් කහ දියර ලබාගෙන ඉන් ස්වල්පයක් පානය කර හිසේ හා ශරීරයේ තවරා ගැනිමටද අමතක නොකරයි. එමගින් තමනට සෙතක් ලැබේ යැයි විශ්වාසයක් පවතී.

තම වස් දොස් දුරුවේ යැයි විශ්වාසය තබමින් ගරා තටුවට පඞුරු පිදීම මෙන්ම මුහුණ තුන් වරක් පිරිමදිමින් ගරා තටුවට අත ගැසිමද තවත් විශ්වාසයකි.

පත්තිනි මෑණියන්ට කැප කළ රන් සළඹ බෝධිරාජයා සහිත පුජා භූමියට වැඩමවීමෙන් පසු එයට කිළි කුණු හසු නොවී තබා ගැනිමට ගැමියෝ විශාල වෙහෙසක් දරති. එයට හේතුව කිළි කුණු හසුවීමෙන් හෙවත් එම භූමිය අපවිත්‍රවීමෙන් දේව කෝප ඇතිවී ශාන්ති කර්මය කල නොහැකි වන සේ එම කිළි සේදී යන තුරු මහා ධාරාණිපාත වර්ෂාවක් පතිත වන බව ගැමියන්ගේ විශ්වාසයයි. එය හුදෙක් විශ්වාසයක් පමණක්ම නොවේ. එය මනාව ඔප්පු වූ අවස්ථාද පවතී. යම් හෙයකින් වර්ෂාව තුරල් නොවුනහොත් කපු මහතා විසින් නැවත රන් සළඹ සඳුන් කිරි පැන් වලින් නානුමුර කර (නාවා) පිරිසිදු කරනු ලබයි. අනතුරුව දෙවියන්ගෙන් සමාව යදිමින් පුද පූජා පවත්වා වර්ෂාව නවත්වා දෙන ලෙස ඉල්ලීමක් කරයි. එයට දෙවියන් සවන්දී වර්ෂාව නවත්වා දෙන බව ගැමි‍යෝ විශ්වාස කරති.

මේ ආදී වශයෙන් ගම්මඩු ශාන්තිකර්මය ආශ්‍රිත විශ්වාස රැසක් ඉදිරිපත්කල හැකිය.

එමෙන්ම මිරිස්සේ ගම්මඩු ශාන්ති කර්ම‍‍ය පිළිබඳ විග්‍රහ කිරීමට ප්‍රථම දෙවොල් මඩු ශාන්ති කර්මයේ උත්පත්ති කථාව ගෙනහැර පෑම ද වැදගත්වේ.

දෙවොල් මඩුවේ උත්පත්ති කථාව

ඉන්දියාවේ චෝල රාජ්‍ය සමයේ සිටි සේරමාන නම් රජුගේ උයන පාළු කරන ලද ගෝණකු මැරීමට අණ ලැබූ හේවායන් උගේ පසුපස හඹා යාමේදී ගෝණාගේ පය පැටලී එහි වූ පොකුණට වැටටී මියගියේය. මෙම විපත සිදුවූයේ රජු නිසා බව දැනගත් ගෝනා රජු කෙරෙහි කෝපයෙන් මියගොස් එම පොකුණෙහිම මැඩියෙකු වී උපන්නේය.

එක්තරා දි‍නක රජතුමා එම පොකුණහි පිපී තිබූ අලංකාර නෙළුම් මලක් නෙලා එහි සුව බලනවාත් සමග මල යට සැවී සිටි මැඩියා රජුගේ නහය දිගේ ෙමාළයට රිංගාගත්තේය. ඒ හේතුවෙන් රජතුමාට සුව කල නොහැකි හිසරදයක් ඇතිවිය. මෙසේ කාලය ගතවෙද්දී දිනක් රාත්‍රියේදී රූපශ්‍රීයෙන් අනූන කාන්තාවක් රජතුමා සිහි‍ෙනන් දුටුවේය. මේ බව බමුණන්ට සැලකල විට ඔවුන් ප්‍රකාශ කළේ එම කාන්තාව පත්තිනි දේවතාවිය බවයි. ඒ අනුව රජුට පත්තිනි දේවියගේ සාපයක් ඇති බවත් එය නැතිකර ගැනීම සහා බුද්ධාගම ස්ථාපිත, සතර දේවාලයක් ඇති රටකට ගොස් පත්තිනි දේවතාවියට පිං අනුමෝදන් කලයුතු බවත්ය. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණ කැළණි විහාරය වැපුදාගෙන පත්තිනි අනසක පවතින නවගමු දේවාලයට පැමිණ දෙවියන්ට පිංදී දෙවොල් මඩුවක් කරවීය. ඉන් පසුව රජුගේ හිසරදය ද සුවවිය. මේ සමගම ශ්‍රී ලංකාවේ ද ගම්මඩු ශාන්ති කර්මය ආරම්භ වූ බවයි පුරාවෘතවල සහන් වන්නේ.

සමහර පුරාවෘතවල මේ කථාව තරමක් වෙනස් ආකාරයෙන් දක්වා ඇත. ඒවායේ සහන් වන්නේ සේරමාන රජු තම බිසව සමග නැවකින් යද්දී මලක් කඩා එහි සුවඳ බලද්දී එහි වූ විෂ වායුවක් හේතුවෙන් ඔහු රෝගි වූ බවත් එහිදි රජතුමා දෙවොල් දෙවියන්ගේ නමට නැවේ කුඹ ගසක් සිටුවා යාගයක් කිරීමෙන් අනතුරුව රෝගී තත්වය සුව වූ බවත්ය. වර්තමානයේ දකින දෙවොල් මඩුවක ඇති කාල පන්දම් ගහ හා බිසෝ කප එම කතා පුවත සිහිපත් කරවන බව ඇතමෙකුගේ අදහසයි මේ අනුව දෙවොල් ශාන්ති කර්මය පිළිබඳ උත්පත්ති කතාව මෙතනින් අවසන් කරන අතර මිරිස්සේ ගම්මඩු ශාන්ති කර්ම‍ය පිළිබඳ තොරතුරරු ගෙනහැර පෑම මෙතැන්සිට සිදුවේ.

මිරිස්සේ ගම්මඩු ශාන්ති කර්ම‍ය

පහතරට නර්ථන සම්ප්‍රදායට අනුව මෙම ගම්මඩු ශාන්ති කර්මය සිදුකෙරේ. මිරිස්සේ බෝ පිටියේ පිහිටි අති පූජනීයත්වයට පත් මහානුභාව සම්පන්න බෝධීරාජයා මෙන්ම පත්තිනි රන් සළඹ මූලික කොටගෙන මෙම ශාන්තිකර්මය සිදුවෙයි. දේශීය නර්ථන කළාවේ ‍‍‍ෙප්‍රෟඪත්වය විදහාපාමින් මිරිස්සටම ආවේණික වූ කලාවන්ට මුල්තැන ලබා දෙමින් වසර තුන්සියයක පමණ කාලයක් තිස්සේ මෙම ගම්මඩුව පැවැත්වීම ද විශේෂත්වයකි. ගම්මඩු ශාන්ති කර්මය හා සමගාමීව පේළි පෙරහැර වීථි සංචාරය කෙරෙන අතර ඒ සඳහා නර්තන ඉදිරිපත් කරනු ලැබුවේ ද මිරිස්සේ ගම්වාසීන්ය.

පූර්ව සූදානම

සතර පේරුවෙන් එන ගම්වාසීන් එක්තරා දිනකදී ම්රිස්සේ ඓතිහාසික බෝධිරාජයානන් අභියසට රැස්වී ගමිමඩුව සහා දින නිමය කරගැනීම සිදුකරයි. ඒ අනුව එළඹෙන පසළොස්වක පොහොය දිනයකදි පොල් පේ කිරීම සිදු කෙරේ. මේ සහා ද විශේෂ කාර්යන් කොටසක් සිදුකිරීමට තිබේ. ඒවා මෙසේය.

පත්තිනි රන්සළඹට උරුමකම් කියන පරම්පරාවට අයත් ඉඩමක ඇති පොල්ගසකින් හොඳට පැසුනු පොල් වල්ලක් බිමට නොවැටෙන සේ කඹයක ආධාරයෙන් පහළට බා ගනී. පසුව ඒවා පොල්පිටියට (පොරපොල් ක්‍රීඩාවේ යෙදෙන ස්ථානයට) රැගෙනගොස් පොල්ලෙළි ගසයි. අනතුරුව එම පොල් කහ දියරයෙන් සෝදා ගම්මඩු භූමියේ බෝධීන්වහන්සේ හා දෙවියන් වෙනුවෙන් සකස්කරන ලද මල් යහනේ තැන්පත් කරනු ලබයි. මල් යහන ඇල්බීසියා වැනි කෝටු උපයෝගී කරගනිමින් නිර්මාණය කර ගොක් අතු, පොල්මල්, පුවක්මල් වලින් සරසනු ලැබේ, අනතුරුව හේවිසි හා මගුල් බෙර වාදනය කරමින් ශබ්ද පූජාවක් පවත්වා දේවාරාධනා කොට පොල් පේ කිරීම සිදුකරනු ලබයි. එය ප්‍රධාන කපුමහතා (පත්තිනි හාමි) විසින් ඉටුකරනු ලබයි. ඉන්පසුව එම පොල් වලින් හතරක් ගෙන ඉන් දෙකක සුදු රෙදි කැබැල්ලක ආධාරයෙන් පඬුරු ගැටගසනු ලැබේ. ඉතිරි පොල් වට්ටඩීන් විසින් (පොරපොල් ගැසීමේදී එක් එක් කණ්ඩායම් වලට අදාල නායකයින් හඳුන්වන්නේ වට්ටඩීන් නමිනි) පොල් ගැසීම සඳහා යොදාගනී. ඒ අනුව පොල්පිටියේ ප්‍රධාන දායකයන් වන ගුරු පරම්පරා හතර කණ්ඩායම් දෙක බැගින් සකස් වී එක් එක් කණ්ඩායමට නායකයන් හෙවත් වට්ටඩීන් පත්කර ගනී. අනතුරුව එසේ බෙදුණු කණ්ඩායම් දෙක බැගින් පොරපොල් ක්‍රීඩ‍ාවේ යෙදේ. එම කන්ඩායම් දෙක උඩුපිල හා යටිපිල වශයෙන් නම් කෙරේ. මෙහිදී පෙර සඳහන් කල පේ කරන ලද පඬුරු ගැට ගැසූ පොල්ගෙඩි දෙක යොදා නොගෙන ගම්මඩු ශාන්තිකර්මය අවසන් වන තෙක් භාවිතයට නොගෙන මල් යහනේම තබාගැනීම විශේෂ සිදුවීමකි.

පසුව පොරපොල් ක්‍රීඩාවට භාවිත කල නොබිඳුණු පොල් ගෙඩියක් සුදු පිරුවටකින් ඔතා වට්ටඩියෙකු එය තම හිස මත තබාගෙන වියන යටින් බෝධීන්වහන්සේ හා දේවාලය ප්‍රදක්ෂිණා කරමින් තුන් වටයක් ගමන් කරයි. එහිදී හේවිසි වාදනය සිදුකරන අතර පෙරහැරේ කොඩිය රැගෙන යාමට උරුම වූ පවුලේ අයෙකු සුදු කොඩියද ඉදිරියෙන් රැගෙන යාම සිරිතකි. ප්‍රදක්ෂිණා කරන අතරතුරේ “ අපේ ගමේ පොල් ගහලා අපි දිනුවා හෝයියා. හොයිය පුරේ හෝයියා. හෝ හෝයා හෝයියා ” යනුවෙන් කියමින් ශබ්ද ඝෝෂා පැවැත්වීම ද මෙහි ඇති තවත් විශේෂත්වයකි.

ඉන් අනතුරුව පොරපොල් ක්‍රීඩාවේදී බිඳීයන පොල් ගෙඩියකින් තෙල් සිඳ බොධීන්වහන්සේ වෙනුවෙන් එක් පහණක් ද උඩුපිල යටිපිල භාර දෙවියන් වෙනුවෙන් පහන් දෙකක්ද ප්‍රධාන මල් යහනේ පහන් හතරක්ද වශයෙන් පහන් හතක් දල්වනු ලබයි. අනතුරුව බුදුන් වැඳ දෙවියන්ට පින්දී ආරම්භක දින කටයුතු නිම කරයි. එතැන් සිට තුන් මසක් සෑම දිනකම පස්වරුවේ වට්ටඩි දෙදෙනෙකු බැගින් පැමිණ පොල් ගසා පෙර පරිදීම චාරිත්‍රය ඉටු කිරීම සිරිතවේ.

මෙහිදී පොරපොල් ක්‍රීඩාව සිදුකරන ආකාරය ද විස්තර කිරීම වටී. වට්ටඩීන් උඩුපිල යටිපිල වශයෙන් කොටස් ‍ෙදකකට ‍ෙබදී පොරපොල් ක්‍රීඩාවේ යෙදේ. එහිදී එක් පිලකින් පොරපොල් ගෙඩියක් උඩින් එවන විට අනෙක් පිලේ එක් අයෙකු එම පොල් ගෙඩියට පහරක් එල්ල කලයුතුය. මෙහිදී පොල් ගෙඩිදෙක ගුවනේදී එක‍ට එක වැදීමට සැලැස්වීම නොකල යුතුය. කලයුත්තේ පොල් ගෙඩිය අතේ තබාගෙනම අනෙක් පාර්ශව‍ෙයන් එවූ පොල් ගෙඩිය බිඳ දැමීමයි. එහිදි අතේ වූ පොල් ගෙඩිය බිඳුණ හොත් “අතේ ගියා” යයි ඝෝෂා කොට ජය ප්‍රකාශ කරයි. යම් හෙයකින් අතේ තිබූ පොල් ගෙඩිය මෙන්ම අනෙක් පිලෙන් එවූ පොල් ගෙඩිය ද එකවර බිඳුණහොත් “අතේ ගියා ම‍ෙත් ගියා” යැයි ඝෝෂා කිරීම සිදුකෙරේ.

පොල් පේ කිරීමෙන් පසු ගම්මානයේ ස්ථාන කීපයක ගැමි නැටුම් හා කෝළම් නැටුම් පුරුදු පුහුණු කිරීම ආරම්භ කෙරෙයි. මෙය පාරම්පරික පුහුණු ශිල්පීන් විසින් නොමිලයේම සිදුකරනු ලබයි. මෙම නර්ථන අංග බොහෝවිට මිරිස්ස ප්‍රදේශයටම ආවේණික වූ ඒවා වේ. මෙසේ පුහුණුවෙන් පසු පෙරහැර දිනට දින කිපයක පෙර එම නැටුම් “මඩු බැසීම” සිදු කෙරේ. “මඩු බැසීම” යනු පුරුදු පුහුණු කල නැටුම් කල එළි දැක්වීමයි. ඒ අවස්ථාවේදී නර්ථන ශිල්පීන් හා ගුරුතුමා හට විවිධ ත්‍යාග පිරිනමයි. පළමුව රත්රන් මාලයක් නර්ථන ශිල්පියාගේ කරට දමන අතර එමගින් ඔහුගේ ඇස්වහ කටවහ දෝශ දුරුවෙතයි විශ්වාස කෙරේ. දෙවනුව සල්ලි කොළ, ව්ස්කෝතු වැනි දේවල් භාවිතා කර මාලා සාදා ඒවා කරට දමනු ලබයි. මෙයද මිරිස්සට ආවේණික වූ ලක්ෂණයකි.

කොඩි පෙරහැර

මේ අතර ගම්මඩුව පැවැත්වෙන දිනයට දින හතකට පෙර එනම් අටවක පොහොය දිනයේදී “කොඩි පෙරහැර” වීථි සංචාරය කරයි. “කොඩි පෙරහැර” යනු පේළි පෙරහැර ගමන් කරනු ලබන මාර්ගය දැනුම්දීම සඳහා යන පෙරහැරකි. මෙහි නර්ථනයන් අඩංගුනොවන අතර හුදෙක් කොඩි රැගෙන යාම පමණක් සිදුවේ. මෙහි පෙරටුව ප්‍රධාන කොඩිය ද අනතුරුව සේවිසි කණ්ඩායම සුදු පිරුවටකින් ඔතනු ලැබූ පොල් ගෙඩිය සුදු කොඩි රැගත් ළමුන්ද ගමන් කරයි. මෙහිදී රැගෙන යන සුදු කොඩිවල ද විශේෂත්වයක් පවතී. එනම් එය සකස් කරගන්නා අනුවයි. එහිදී කෝටුවක් ගෙන එහි ලේන්සුව ගැටගසා පොල්මල් කැබැල්ලක් හෝ නාගවල්ලී ඉති කැබැල්ලක් කොඩියේ මුදුනේ ගැටගසයි. මෙම පෙරහැර වීථි සංවාරය කරන්නේ “ අපේ ගමේ පොල් ගහලා අපි දිනුවා හෝයියා. හොයිය පුරේ හෝයියා. හෝ හෝයා හෝයියා ” යනුවෙන් ශබ්ද ඝෝෂා පවත්වමිනි. තවද කහදියර බදුනකින් කහදියර මිනිසුන්ට ඉසීමද කරගෙන යයි. සමහරු කහදියර, භාජනවලට ලබා ගැනීමට ද උත්සුකවේ. එමගින් තමනට ආශිර්වාද ලැබෙනවා යැයි විශ්වාසයක් පවතී. එසේ ගමන්කරන අතරතුරේ උඩුපිල බෝධිය අහියස දී බුදුරජානන්වහන්සේ වෙනුවෙන් මල්, පහන් පූජා කොට දෙවියන්ට පින්දීම ද සිදුකෙරේ. පෙරහැරේ ගමනාන්තය වන බෝධීන්වහන්සේ පිහිටි ස්ථානයේදී දෙවියන්ට පින්දීමෙන් පසු එහි කටයුතු අවසන් වේ.

කොඩි පෙරහැර වීථි සංවාරයට පෙර ඊට ආසන්න දිනයක පෙරහර ගමන් කරන මාර්ගයේ අණ බෙරකරු ගමන් කරමින් පෙරහර එන බව දැනුම් දීමේ කටයුත්තේ යෙදෙයි.

කොඩි පෙරහැර වීථි සංචාර‍යෙන් සත්දිනකින් ගම්මඩු මංගල්‍යයේ දිනය උදාවෙයි. එදින උදෑසන සිට එහි සැරසිළි කටයුතු සිදුකරයි. ගම්මඩු භූමියේ සතර දිශාවෙහි තොරන් හතරක් ද පත්තිනි සළඹ වැඩමවීම සඳහා ප්‍රධාන මල් යහන ද සැකසීමේ කටයුතු ආරම්භ කරයි. තොරන් හතර සැකසීමේ කටයුතු පාරම්පරිකව පැවරී ඇති පවුල්වල සාමාජිකයින් සිදුකරනු ලබයි. ඒ අනුව එක් එක් තොරණ ඒ ඒ පවුල්වලට භාරදී ඇත. (මෙය පුරාණයේ සිට පැවත එන්නකි.) එහිදී කපාගත් පුවක් ගස් සිටුවා තොරණ සකස් කරගන්නා අතර ගොක් සැරසිළී වලින් එය අලංකාරවත් කරයි. ඊට අමතරව කෙසෙල් කැන්, තැඹිළි හා පොල් එම තොරණෙහි එල්ලනු ලබයි. ඒවා දේව දානයට ගන්නා තුරු එහිම එල්ලා තැබේ.

ප්‍රධාන මල් යහන

මෙහිදී සකස් කරන ප්‍රධාන මල් යහන ඉතා අලංකාර එකකි. මේ මල් යහන සකස් කිරීමට පෙර එය උඩින් ආවරණය වන සේ මඩුවක් සකස් කරනු ලබයි. එය මල් යහනට වඩා තරමක් දිගින් යුක්ත එකකි. එයද පොල් මල්. ගොක්කොළ. පුවක් මල්, දෝතලු පුවක් මල් වැනි දෑ වලින් අලංකාර කරනු ලබයි. මල් යහන සඳහා වැඩි කෝටු ප්‍රමාණයක් යොදාගනී. මෙය කපු මහත්වරුන් විසින් සකස් කරනු ලබන අතර විවිධ පුද්ගලයින් උදව් උපකාර කරයි. කෝටු සිටුවා ගැටගසාගෙන ඒ මත හරස් අතට එක ළඟින් කෙසෙල් පතුරු (කෙසෙල් ක‍ඳෙන් ගලවා ගනී) ගැටගසා ගනී. තවද සායම් වර්ග භාවිතා කර අලංකාර මෝස්තර ද එක් කරන අතර යම් යම් දෙවිවරුන්ගේ රූප ද එහි සවිකරයි.

මීට අමතරව පොල් පේ කරන ලද දිනයේදී බෝධීන්වහන්සේ හා දේව මන්දිරය වෙනුවෙන් සකස් කරන ලද මල් යහන අළුත් කිරීම ද මෙදින සිදුවේ. මේ සියළු කටයුතු මධ්‍යහ්න දොළහට පෙර අවසන් කර රන් සළඹ වැඩමවීම සඳහා සූදානම් වේ.

රන් සළඹ වැඩමවීම

පත්තිනි දේවියගේ රන් සළඹ පොල් පිටියට ආසන්නයේ පිහිටි මිරිස්ස සිරිසුනන්දාරාම විහාරස්ථානයේ සිට පෙරහරින් ගම්මඩු භූමිය දක්වා වැඩමවීම සිදුකෙරේ. ප්‍රධාන දායකයන් පෙරටුව විහාරස්ථානයට ගොස් පළමුව විහාරාධිපති හිමියන්ගෙන් අවසර ගෙන සළඹ තැන්පත් කොට ඇති මංජුසාව විවෘත කෙරේ. අනතුරුව සළඹට සුවඳ දුම් අල්ලා සියළු දෙනාම තිසරණ සහිත පන්සිල් සමාදන් වෙයි. පසුව හේවිසි හා මංගල බේරී වාදනය සිදුකර දේව ස්තෝත්‍ර ගායනා කරනු ලැබේ. ඉන් පසු රන් සළඹ එම ස්ථානයෙන් වැඩමවාගෙන යාමට දෙවියන්ගෙන් අවසර ගෙන ‍ෙදවියන්ට පින්දී වීදුරුවලින් තනන ලද විශේෂ මංජුසාවක තැන්පත් කරනු ලබයි. එතැනට රැස්වූවන් එයට පඬුරු පුදකිරීම ද කරයි. ඉන් අනතුරුව රන් සළඹට උරුමකම් කියන පවුලක පිරිමි කෙනෙකු සුදු වස්ත්‍රාභරණයෙන් සැරසී එම රන් සළඹ හිස මත තබා ගෙන උඩු වියන් යටින් වැඩමවීම සිදු කරයි. එම පෙරහර රන් සළඹට උරුමකම් කියන පවු‍ෙල් නිවස ඉදිරිපිටදී සුවඳ දුම් අල්ලා පඬුරු පුද කිරීම විශේෂයෙන් දක්නට ලැබෙන සිරිතකි. මෙම පෙරහර ගමන් කරන මාර්ගය දෙපස සිටින පිරිස පඬුරු පූජා කිරීම ද සිදුවේ. මෙසේ ගමන් කරනා පෙරහර පොල් පිටියට ළඟවන විට ගම්මඬු ශාන්ති කර්මය සඳහා අවශ්‍ය සියළුම බඩු භාණ්ඩ රැගෙන දායකයන් එම පෙරහරට එකතු වී පොල් පිටියට රැගෙන එයි. (මේවා කළින් රැගෙනවිත් පොල් පිටියට ආසන්න ස්ථානයක තබනු ලැබේ.) රන් සළඹ වැඩමවන තෙක් කිසිඳු භාණ්ඩයක් පොල් පිටිය තුළට ඇතුල් කර නොගැනීම සිරිත වෙයි. රන් සළඹ ගෞරවාන්විතව වැඩමවා ගෙන අවුත් සකස් කරන ලද ප්‍රධාන මල් යහනෙහි තැන්පත් කර එම ආසනය මත මල් හා පුවක් මල් ඇතිරීම ද සිදුකෙරේ. එමෙන්ම පහන් හා සුවඳකූරු දැල්වීම ද සිදුකෙරේ. එතැන් සිට ගම්මඩු ශාන්ති කර්මයේ ආරම්භය සනිටුහන් කෙරේ.

කප් සිටුවීම









මෙහිදී ගයන කවියකින් ආරම්භ කිරීම වටී.


රියන් එවියත් අගුල් පත් බිඳ සඳුන් කඳ අට පැති පැසා
මුදුන්
කොත සත් මාලයක් කර කනෙක වරනින් තිබු ලෙසා
මුදුන්
අතුරක් සේම අට පැති ලතා කැටයම් එක ලෙසා
සඳුන් හැර මේ ලෙසින් සරසන සිටුවන්න නැකතක් අසා

මේ සහා රුක්අත්තන ගසක් ඇති ස්ථානයකට ගොස් මගුල් බෙර වාදනය සිදුකර එහි අත්තක් කපා ගන්නා බැවින් එහි වැඩ වාසයකරන දෙවියන්ට සමාවී ඉන් ඉවත්ව යන ලෙස ඉල්ලා සිටී. පසුව කරු තුනක් සහිත ඉත්තක් කපාගෙන එහි සුදු පිරුවටයක් (සුදු රෙද්දක්) ඔතා එය එක් දායකයෙකුගේ කර මත තබාගෙන වියන් යටින් බේරී වාදනය, කවි ගායනය සහිත නර්ථනයක් පෙරටු කරගෙන බෝධීන් වහන්සේ හා දේවාලය වටකොට තෙවරක් පදක්ෂිණා කරනු ලබයි. පසුව රන් සළඹ තැන්පත් තැන්පත්කල මල් යහනේ ඉසිරිපස සිට කපු මහතෙකු එම කප අතට ගෙන කවි ගායනා කරමින් නර්ථනයක යෙදී පසුව එයට වම් පසින් කප සිටුවනු ලබයි. එය සිදුවනවාත් සමගම පුරා ගෙඩිය (පොල් ගෙඩියකි) බිීම ද සිදුවේ. එහිදී කපු මහතා පුරා යනුවෙන් ශබ්ද නගන විටම පිහියේ මුවහත් පැත්තෙන් පුරා ගෙඩිය බි දැමිය යුතුය. පසුව ඉන් පොල් ඇස්සක් (එක පලුවක්) කපේ කරුව මත තබා එයට පොල් තෙල් වත්කර පහන් තිරයක් දමා දල්වනු ලබයි. කපේ තැඹිලි, පොල්මල් ආදිය මෙන්ම පැහැදුම් මළු එල්ලීම ද සිදුකරයි. එම පැහැදුම් මළු තුළ හාල්, බුලත්, සීනි, තුනපහ, වම්බොටු, අළු කෙසෙල් වැනි එළවළු වර්ග ඇත. මෙය බිසෝ කප වශයෙන් ද වැහැරේ. සේරමාන රජුගේ රෝගය සහා සුන් ලීයක් ගෙන බිසව විසින් සිටුවන ලද මුල් කණුව බිසෝ කප ලෙස හැින්වේ.

රන් සළඹ නානුමුර කිරීම

මල් යහනට වැඩමවන ලද රන් සළඹ සෝදා පිරිසිදු කිරීම නානුමුර කිරීම ලෙස හැින්වේ. නානු සාදා ගන්නේ පොල් කිරි ස්වල්පයකට අඩක් පිළිස්සූ දෙහි ගෙඩියක මද

කොටස්, සුදු සුන් සහ අත්කහ එකට එකතු කිරීමෙනි. (මේවා හුන් කිරිපැන් ලෙස ද හැින්වේ.) පසුව එය කහ දියරෙන් සෝදා සුදු රෙදි කැබැල්ලකින් පිසදා දමනු ලැබේ. මේ මගින් රන් සළඹේ පිරිසිදු බව ආප්ක්ෂා කරයි. එය ශාන්ති කර්මයට ආශිර්වාදයක් ලෙස ගැමියන් සළකයි.

මාත්‍රා පහ නැටීම

මෙය තොවිල් ඇදුරන් විසින් සිදුකරනු ලබයි. සුදු සේලය හා හැට්ටයකින් සරසී හිසට සුදු රෙදි ජටාවක් බැඳගෙන මොවුන් නර්ථනයේ යෙදෙයි. ඉතා අලංකාර කවි ගායනා කරමින් කඩිසර ලෙස නර්ථනයේ යෙදෙයි.


පේ බත දීම

ශාන්ති කර්මය හා සම්බන්ධ සියළු දෙනා එය ආරම්භයේ සිට අවසානය දක්වා අනුභව කරන ආහාරය පේ බත ලෙස හැින්වේ. එහි බත් වලට අමතරව අළු පුහුල් හොදි, අළු කෙසෙල් මැල්ලුම් හා හාල් කිරි ඇතුළත්ය. මේ සහා කිසිසේත්ම මස්, මාළු යොදාගන්නේ නැත. මෙය අනුභව කිරීම සහා දෙපිලේ වට්ටඩීන්, කොඩිය ගෙන යන්නන්, සළඹ අයිතිකරුවන්, ප්‍රධාන දායකයන්, පත්තිනි හාමිලා ඇතුළු පිරිසට හිමිකම් පවතී. නෙළුම් කොළයක හෝ කෙසෙල් කොළයක තබා ගෙන මේවා අනුභව කරති.

සංස්කෘතික සංදර්ශණය

පසුදින පේළි පෙරහැරේ නර්ථන ඉදිරිපත් කරන සියළුම නර්ථන ශිල්පීන් රාත්‍රී කාලයෝදී පොල් පිටියේදී නර්ථන හැකියා පෙන්වනු ලබයි. මෙය පාරම්පරිකව සිරිතක් වශයෙන් කරගෙනවිත් ඇත. මේ සහා නර්ථන වලට අමතරව හාෂ්‍ය උපද්දන නාට්‍යමය අංග ද එකතු කිරීමට ගැමියා පුරුදුව සිටී. මෙහිදී ගමේ විවිධ ස්ථානවල පුරුදු පුහුණු ලැබූ නර්ථන ශිල්පීන් ශුද්ධ මාත්‍රා, පට්ටානි, තාලම්, කුළු, ලී කෙළි, කඩු, කළගෙඩි මාලය, ආත්තා, වඩිගප‍ටුන වැනි නර්ථනයන් ද ගුරුලා, නාග රාක්ෂ වැනි කෝළම් නර්ථනයන් රශියක් ද අළුයම දක්වා ඉදිරිපත් කරනු ලැබේ. මීට අමතරව පසු කාලයේදී මෙයට එකතුවූ පන්දම් පාලිය, සළු පාලිය වැනි නර්ථනයන් ද කාවඩි ද ඉදිරිපත්කරනු දැකිය හැකිය. මෙය නැරඹීම සහා විශාල ජනකායක් එකතුවීම ද විශ්මය ජනකය.

පේළි පෙරහැර වීදි සංචාරය

පසුදා උදේ නවය පමණ වන විට බෝධිරාජයා අභියසින් රන් සළඹ පෙරටුකර ගත් පේළි පෙරහැර වීථි සංචාරය සහා පිටත්ව යයි. ඊට ප්‍රථම පෙරහැර තෙවරක් බෝධීන්වහනසේ හා දේවාලය ප්‍රදක්ෂිණා කරනු ලබයි.ඒ යන අතරතුරේදී මිරිස්ස උඩුපිල බෝධීන් වහස්සේ වෙත ගොස් මල්, පහන් පූජා කොට දෙවියන්ට පින්දීම ද සිදු කරයි. එහිදී එම ගම් වාසීන් එකතුවී පෙරහැරේ ගමන් කරන්නන්ට දන්සලක් පවත්වනු ලබයි. එයට කෘත ගුණ සැළකීමක් හා ගෞරව පුදකිරීමක් උදෙසා සෑම නැටුමක්ම එක් පදය බැගින් නැටුම් ඉදිරිපත් කරයි. තවත් ස්ථාන කීපයකදී මෙවැනිම වූ දේවල් කිරීමට සිදුවේ. මෙසේ ගමන් කල පෙරහැර නැවත බෝධීන්වහන්සේ වෙත පැමිණෙන විට පස්වරු හයයි තිහ පමණ වේ. පසුව නැවතත් පෙරහැර තෙවරක් බෝධීන්වහන්සේ හා දේවාලය ප්‍රදක්ෂිණා කර නර්ථන ශිල්පීන් කහදියර ලබා ගැනීම ද සිදු කරයි.

පේළි පෙරහැර අවසන් වූ දිනයේ පස්වරුවේදී මඩුශාන්ති කර්මයේ දෙවන භාගය ඇරඹේ. එහිදී පළමුව මඩුව පේ කිරීම සිදුකෙරේ. අනතුරුව පත්තිනි හාමිලා විසින් භේරී වාදනය මධ්‍යයේ හක්ගෙඩි පූජාව පවත්වා දෙවියන්ගේ නාමයට පහන් පූජාව ඔප්පු කරනු ලබයි.

දළුමුර පිදිම

දළුමුර යනු බුලත්ය. මෙහිදී මල් යහන් වලට විශ්ණු, නාථ, සමන්, කතරගම, වභීෂණ, පත්තිනි යන දෙවිවරුන්ට වඩින ලෙස ආරාධනා කර කොතල දුම්මල පද නටා දළුමුර ුරු පිදීම කරනු ලබයි. පුද වට්ටියට බුලත්, පුවක් කිනිති, කපුරු, මල්, හඳුන්කූරු, පිණි දිය, පඬුරු ආදිය අඩංගු වේ. එක් එක් දෙවිවරුන්ගේ මල්යහන්වලට ඒවා පූජා කර ආරාධනා කිරීමක් කර, මල් යහන් ඉදිරිපිට කුඩා පද කොටස් වලින් සමන්විත නර්තන ඉදිරිපත් කරන්නේ කවි ද ගායනා කරමිනි.

පත්තිනි නැටීම

පත්තිනි දේවතාවිය මෙන් දිළිසෙන ඇුම් හා ආභරණ වලින් සැරසුණු පත්තිනි හාමි දෙඅත් වලට පත්තිනි සළඹ ගෙන සළං සලමින් පාවාඩ මත ගමන් කරමින් ආශිර්වාද සිදුකෙරේ. අනතුරුව පත්තිනි පද නැටීම ද සිදුකෙරේ. මෙය ඉතාමත් චමත්කාර ජනක අවස්ථාවක් ලෙස දැක්විය හැක.


බෙර උපත කවි ගායනය හා ගදඹ ගැසීම

බෙරයේ උපත කවි, බෙර වාදනය කරමින් මෙහිදී සිදුකරයි. අනතුරව ගදඹ ගැසීම සිදුවේ. ගදඹ ගැසීම යනු මගුල් බෙර වාදනයටයි. පසුව රලට පැමිණෙන බෙර වාදන ශිල්පීන් බෙර අඩව් ඇල්ලීම සිදුකර නරඹන්නාගෙන් පුරු එකතුකර ගනු ලැබේ.


විෂ්ණු සව්දම නැටීම හා තොරණ් පද නැටීම

විෂ්ණු සව්දම නැටීම බෙරවාදන ශිල්පීන් හා නර්ථන ශිල්පීන් අතර සංවාද ස්වරූපයෙන් සිදුවේ. එහිදී පළමුව නර්ථන ශිල්පීන් විෂ්ණු සව්දම ගායනා කරන අතර පසුව ඊට අදාලව ඉරට්ටි ඇල්ලීම සිදුකරයි. ඉරට්ටි ඇල්ලීම යනු විශ්ණු සව්දමේ පදයෙන් පදය කියමින් ඊට අදාල බෙර පද වයන විට පාදවලින් එය න‍ටා පෙන්වීමයි.

ගම්මඩු භූමියේ සතර දිශාවේ තනා ඇති තොරණ් හතර පදනම් කර ගෙන මෙම තොරන් පද නැටීම සිදුකෙරේ. එම තොරන් සතර රන් තොරණ, පිළි තොරණ, මිණි තොරණ, රඹ තොරණ යනුවෙන් නම් කරයි. මෙහි රන් තොරණ රජ කුළයට ද පිළි තොරණ බමුණු කුළයට ද මිණි තොරණ වෙළෙ කුළයට ද රඹ තොරණ ගොවි කුළයට ද වශයෙන් සකස් කෙරේ.


සිරස පාද ගැයීම හා උඩැක්කි වාදනය

සිරස පාද ගැයීම පත්තිනිහාමි විසින් සිදුකෙරෙන අතර තවත් අයෙකු අත්වැල් ගායනයෙන් සහය දක්වයි. ඉතා අලංකාර කවි ගායනා වලින් යුක්ත වේ.

මෙහිදී උඩැක්කිය ප්‍රධාන වද්‍ය භාණ්ඩය වේ. උඩැක්කිය යන වචනය උඩුක්කු යන දෙමළ වචනයෙන් බිී ආවක් ලෙස සිතිය හැකි බවට ඩබ්.ඒ.ඩී.ටී.දයාරත්න මහතාගේ “නර්ථන කලා අධ්‍යයන ප්‍රවේශය” නම් කෘතියෙහි සඳහන් වේ. එහි තව දුරටත් සඳහන් වන්නේ මෙහි සිංහල නම “සිරිවැසි” යන්නයි. මෙහි තේරුම “ශ්‍රියාවාස” හෙවත් ශ්‍රියා කාන්තාව වාසය කරන භාණ්ඩය යන්නයි. උඩැක්කිය විවිධ තාල ගෙන හැර දක්වමින් එම අවස්ථාව අලංකාර කරයි. මෙහිදී තාලම් ද වාදනය කෙරේ.

කාල පන්දම් දීම

මෙය දේවතා බණ්ඩාර දෙවියන් උදෙසා කරනු ලබන්නකි. මෙහිදී පන්දම් අතින් දරාගෙන රලට පිවිසෙන නැට්ටුවන් පන්දම් සමග නර්ථනයේ යෙදෙයි. මෙහිදී විවිධ දෙබස් හුවමාරුවක් බෙර වාදන ශිල්පියා හා නර්ථන ශිල්පීන් අතර සිදුවේ. හුදෙක් එය හාස්‍ය උත්පාදන දෙබස් වලින් යුක්තවේ. මෙම නර්ථනය අතරතුරේදී පන්දම් උඩ දැමීම හෙවත් අත්මාන කිරීම ද දැකිය හැකිය. මෙහිදී එක පන්දමක් උඩ තිබියදී දෙකක් ශිල්පියාගේ අතේ තිබෙන පරිදී අත්මාන කිරීම කළ යුතුය. ශිල්පියාගේ දක්ෂතාවය පෙන්නුම් කරන අවස්ථාවක් හැටියට ද මෙය හැින්විය හැකිය.

කළුයකා පිදීම

මෙය මධ්‍යම රාත්‍රිය පසුවී හෝරා කීපයකට පසු සිදුකෙරේ. මෙහිදී කළු යකා වෙනුවෙන් පිදවිනි සකස් කොට ඒවා පිදිම සිදුවේ. මෙම පිදවින් තටු සකස් කිරීම සහා බටපතුරු වට්ටි හා ගොක්කොල උපයෝගී කරගනී. ශිල්පීන් ඉතා විචිත්‍රවත් ඇුමින් සැරසී මෙම කටයුත්ත කරනු ලබයි.

දොළහ පෙළපාලිය

මංගර පෙළපාලියේදී ඔප්පු කරන වස්තූන්


මංගර පෙළපාලිය යනු ද මෙයයි. මෙහිදී දොළහ දෙවියන් නමට වස්තු දොළහක් ඔප්පුකිරීම සිදුවේ. එනම් උඩුවියන්, පාවාඩ, කුඩ, කොඩි, සේසත්, චාමර, දවුල්, තම්මැට්ටම්, නළාව, හොරණෑව හක්ගෙඩිය හා වීණාව යන වස්තූන්ය. මේවා තනා ගැනීමට කෙසෙල් පතුරු, ගොක්කොළ, කෝටු වැනිදෑ භාවිතා කරයි. මේ එක එකක් සහා කවි ගායනා කරමින් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කෙරේ. තවද බෙරවාදන ශිල්පියා සමග සංවාද කරමින් ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි. අවසානයේදී සමන් දෙවියන්ගේ නාමයට අතෙකුගේ දළ දෙක ද මංගර දෙවියන්ගේ නාමයට මී හරකෙකුගේ අ යුගල ද පුදනු ලබයි. මෙහිදී ඇතා හා මීහරකා නිරෑපණය කිරීම සහා ගැමියෙකු යොදාගන්නා අතර කෙසෙල් පතුරු වලින් ඇත් හා මීහරක් මුහුණු සාදාගනී.


හාතපඹුර නැටීම


මෙය සන්නි යකුමේ එන සළුපාළියේ මුහුණ මෙන් හාස්‍යජනක වෙස් මුහුණක් පළඳා යෙදෙන නර්ථනයකි. මෙහිදී ශිල්පියා, කරණවෑමියෙකු කිසියම් කෙනෙකුගේ රැව්ල කපන ආකාරය නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරමින් නරඹන්නන් හිනැස්ස වීම කරනු ලබයි.


දෙවොල් නැටීම

දෙවොල් යනු දෙවොල් දේශයෙන් ශ්‍රී ලංකාවට පැමිණී වෙළෙඳ කණ්ඩායමකි. මොවුන් පැමිණි නැව කුණාටුවකට හසුවී මුහුදුබත් විය. පසුව ඔවුහු කැඩුණු ලී ‍ෙකාටස්වල ආධාරයෙන් ශ්‍රී ලංකාවේ පානදුරයට පැමිණියහ. එහිදී පත්තිනිය ඇගේ සළඹ වෙරළේ ගැස්වාය. එයින් ගිනිකඳු හට ගැණුනෙන් ගොඩ බැසීමට නොහැකිව දෙවුන්දරට ගියහ. එහිදී ද පත්තිනිය විසින් ගොඩබැසීමට නොහැකි වන සේ ගිනිකඳු මැවුවාය. ඉන් අනතුරුව ඔවුහු සීනිගමට පැමිණියහ. එහිදී ද ගිනිකඳු මැවීය. නමුත් ඒවා කතරගම දෙවියන්ගේ බලයෙන් පරාජය කිරීමට හැකිවිය. අනතුරුව දෙවොල් හත් කට්ටුව ලංකාවට ගොඩබැස ලංකාවේ වේරගොඩට” ගියහ. වර්තමානයේදී ද වේරගොඩ දේවාලය “දෙවොල් දේවාලය” ලෙස ප්‍රසිද්ධව පවතී.

මෙහිදී දෙවොල් නැටීම යන්නෙන් හඳුන්වන්නේ දෙවොල් දෙවියන් ලංකාවට ගොඩ බැසීම නාට්‍ය ආකාරයෙන් රඟ දක්වා පෙන්වීමයි. තවද දෙවොල් දෙවියන්ට කවි ගායනා කරමින් මෙම නර්ථනය ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි. “තෙද පතිනි දිනපති - මිහිකත් උමා බලවති............. යනුවෙන් කියැවෙන දෙවොල් බාගේ ගායනය අරඹයි. මෙහිදී දෙවොල් දෙවියන්ට ශ්‍රී ලංකාවට ඒමට හේතුවූ කරුණු, සිදුවූ කරදර, හා ප්‍රාතිහාර්යන් වැනි දේ ඉදිරිපත්කෙරේ.


ගිණි පෑගීම

දෙවොල් දෙවියන් පත්තිනි දේවිය මැවූ ගිණි කදු ජය ගනිමින් ශ්‍රී ලංකාවට ගොඩබැසීම සංකේතවත් කරමින් මේ ගිණි පෑගීමේ මංගල්‍යය සිදු වේ. මෙහිදී ගිණි පෑගීම සඳහා අඟුරු සකස්කර ගැනීම සඳහා දර වර්ග භාවිතා කෙරේ. ගිනි මැලය ගසා එය හොඳින් දැල්වෙන්නට ඉඩ හැරේ. ඒවා අඟුරු බවට පත්වූ පසු දෙවොල් ආකාරයට සැරසුණු ශිල්පියා බෙර පද තාලයට කවි ගායනා කරමින් නර්තනයේ යෙදෙමින් ගිණි පැගීම අරඹයි. ඒ අනුව ඔහු පළමුව අඟුරු මතින් ඇවිද යයි. එය අනුගමනය කරමින් සෙස්සන් ද ගිණි පෑගීම සිදු කෙරේ. ගිණි පැගිමෙන් අනතුරුව වතුර කලයක් ඒ මතට ඉසීමෙන් අඟුරු නිවා දැමීම සිදුකෙරේ.


ගිණි යකුම හෙවත් ගිණි කරුම්බර යකුන්ට පිදේනි ඔප්පු කැරීම.


මෙය ඉර පායන්නට ආසන්නයේම සිදුවන්නකි. ඒ සඳහා භාවිතා කරන කවියක් මේ ආකාරයට ඉදිරිපත් කල හැකිය.


උපතක් දක්වමි මෙගිනි කුරුම්බර

මේ ලෙස කුරුම්බර පිදවිනි දෙන්නේ

කුරුම්බර බැස එන මෙරඟට

ගොපළු කුරුම්බර බැස පුදගන්නේ

රාජ කුරුම්බර බැස පුදගන්නේ

ගිණිජාල කුරුම්බර බැස පුදගන්නේ


ගිණිකුරුම්බර යකුන්ට පිදේණි ඔප්පු කිරීම උදෙසා ආතුරයන් හයදෙනෙක්, සුදු පිරුවටයක්, පන්දම් හයක් හා දුම්මල භාවිතා කෙරේ. ඒ අනුව සුදු පිරුවටය ආතුරයන් හයදෙනා අල්ලාගෙන පන්දම බැගින් ද අතට ගනී. නර්ථන ශිල්පියා කවි ගය ගයා නර්ථනයේ යෙදෙමින් ඉදිරියෙන් ගමන් කරයි. ආතුරයන් හයදෙනා ද අතෙහි වූ පන්දමට දුම්මල කිහිරිගසමින් බෝධීන්වහන්සේ හා දේවාලය වටා තෙවරක් පුදක්ෂිණා කරනු ලබයි.

ගම්මඩු ශාන්තිකර්මයේ තවත් වැදගත් අවස්ථාවක් ලෙස සෙත් පැතීමේ අවස්ථාව ද සැළකිය හැකියි. මෙහිදී දායක කාරකාදීන්ට හා ගම්වාසීන්ට සෙත් පැතීම සිදුකරයි. ඔවුන්ගේ ගේ දොර වැඩකටයුතු සාර්තක වන ලෙසත් රැකීරක්ෂා දියුණු වන ලෙසත් ලෙඩ දුක් රෝගාදියෙන් ආරක්ෂා කරන ලෙසත් සෙත් පතයි. එහිදී භාවිතාවන කවියක් මෙසේ දැක්විය හැකිය.


අට අනූවක් රෝග හරිමි අටවිසි බුද්ධං සරණේ

නව අනූවක් රෝග හරිමි වදහල ධම්මං සරණේ

දෙසිය තුනක් අන්තරා දුරලමි සංඝං සරණේ

මෙතුන් සරණ අනුහසයෙන් නවගුණ ඔබ හට වන්නේ..........


ගරා යක් නැටුම



















පොල් ලී, පුවක් අතු, ගොරක අතු යොදාගෙන රංග භූමියේ පසෙක වෙස් අත්ත හෙවත් අයිලය සකස්කර තිබේ. බෙර වයමින් හා කවි ගායනා කරමින් ගුරුන්නාන්සේලා ගරා යකා සබයට කැඳවා ගනී.


ඊට ප්‍රථම ආතුරයන් රංග භූමියේ පසෙක පැදුරක් මත හිඳගත ගනී. ඊට ඉදිරියෙන් ගරා තටුව (පිදේනි තටුව) ද තබා ගනී. ගරායකු විවිධ වූ නර්ථන විධික්‍රම යොදාගෙන නර්ථනයේ යෙදෙයි. පසුව වෙස් අත්තට නැග එහි පැද්දෙමින් රංගනයේ යෙදී වෙස්පෑම සිදුකෙරේ. පසුව ඉන් බිමට බැස නර්ථනයේ යෙදී බෙර වාදන ශිල්පියා සමග කෙටි සංවාදයක යෙදෙයි. එම සංවාදයේදී ගරා යකුට ඔප්පුකරන ලද තටුවෙහි අඩුපාඩු අසනු ලබයි. අනතුරුව වට්ටඩීන් සමග සාකච්ඡා කර ඊළඟ ගම්මඩුව පැවැත්වෙන දිනය තීරණය කර ප්‍රකාශයට පත්කිරීම ගරා යකා විසින් සිදුකරයි.

පසුව නරඹන්නන් විසින් ගරා තටුවට පඬුරු පිදීම හා වස්දොස් දුරුවේවායි පතමින් තම මුහුණ පිරිමැද තෙවරක් අත ගැසීම ද සිදුවේ. අනතුරුව ගරා තටුව ඔළුවට ගන්නා ගරා යකු නර්ථනයේ යෙදෙමින් එය මහ මුහුදේ පාකර යැවිම සඳහා ගම්මඬු භූමියෙන් පිටත්ව යයි. ඒ සමග බෙර වාදන ශිල්පියා ද එක්වෙයි. මිරිස්ස ධීවර වරායෙන් ධීවර යාත්‍රාවකට නැග දියඹ බලා යාත්‍රා කරන ගරා යක්ෂයා එහිදී දල්වන ලද පන්දමකින් දුම්මල කිහිරි තුනක් නංවයි. අවසානයේදී ගරා තටුව මුහුදු ජලයට දමා පාකර හැර පිරිස නැවත ගොඩ බිමට පැමිණේ. ඒ සමගම මසුන් ගොඩට පැමිණෙතැයි යන විශ්වාසය නිසා ධීවරයින් තම ධීවර යාත්‍රා දියත් කොටගෙන රුකියාව සඳහා පිටත්ව යයි.

කිරි දානය පිරිනැමීම

ගරා යක් නැවත ගම්මඩු භූමියට පැමිණෙන තුරු හාල් කිරි බෙදානොදේ. ගරා යකු ගම්මඩු භූමියට (බෝධීන් වහන්සේ අභියසට) පැමිණි පසු සිළු දෙනා පේබතට වාඩිකරවනු ලැබේ. පේබත සඳහා බත්, අළු පුහුල්, ලූණු සම්බලක්, අළු කෙසෙල්, හාල් කිරි හා කෙසෙල් ගෙඩි භාවිතා කෙරේ. පේබත අනුභවයෙන් පසු දෙවියන්ට පින් අනුමෝදන් කරනු ලැබේ. පසුව, පැමිණෙන ගම්වාසීන් සියළු දෙනාටම හාල් කිරි බෙදාදෙනු ලබයි.

මේ සැම දේටම පෙර කිරි දානයේ අග්‍ර භාගය ලොව්තුරා බුදුරජානන් වහන්සේ වෙත පූජාකර පසුව දෙවියන්ට පූජා කරනු ලබයි. තවත් ප්‍රමාණයක් මිරිස්ස සිරිසුනන්දාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේගේ හිල් දානය වෙනුවෙන් පූජාකරනු ලබයි.

අනතුරුව මල් යහනේ තැන්පත් කොටතිබූ පඬුරු ගැටගැසූ පොල් ගෙඩි දෙක භාවිතා කර අවසාන වශයෙන් පොල් ගසා ඒ පොල් යොදාගෙන තෙල් සිඳ බුදුරජානන් වහන්සේට, සතරවරම් දෙවිවරුන්ට, උඩුපිල හා යටිපිල භාර දෙවිවරුන්ට වශයෙන් පහන් හතක් දල්වනු ලබයි.

මේ ආකාරයට කටයුතු කරගෙන යන අතරතුරේදී කිසි ලෙසකවත් පුරාණ වට්ටඩීන් ද අමතක කරන්නේ නැත. මෙහිදි පාරම්පරිකව ආ චාරිත්‍රයක් ඉටුකරමින් ඔවුන් සියළුදෙනා සිහිපත් ‍ෙකාට පින් අනුමෝදන් කිරීම සිදුකරයි.

පසුව ගම්මඩුව ඇරඹූ දිනයේ තනන ලද මල් යහන අභියස සකස් කරන ලද ලිප් තුනක විශ්ණු, කතරගම හා පත්තිනි දෙවියන් උදෙසා කිරි ඉතිරවීමක් සිදුකරනු ලබයි. එමගින් අදහස් වන්නේ කප නිදහස් කිරීමයි.

ඉන් අනතුරුව සියළුම බෙර වාදන ශිල්පින් එකතුවී බෙර වාදනයක් සිදුකරනු ලබයි. එය පින් බෙර වාදනය ලෙස හැඳින්වේ. මේත් සමඟම එවර පැවැත්වූ ගම්මඩු ශාන්තිකර්මය නිමාවට පත්වේ.


ආශ්‍රිත ග්‍රන්ථ


1. මිරිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය 125 වන සමරු සඟරාව.

2. නර්ථන කලා අධ්‍යයන ප්‍රවේශය - ඩබ්.ඒ.ඩී.ටී. දයාරත්න මහතා

3. සිංහල නර්ථන කලාව - මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා

4. මිරිස්සේ ගම්මඩු පුරාණය - ඩබ්. ඩබ්. ඉසංකා ධනංජනී/ ඩබ්. ඩබ්. රුවන්දිකා උදංගනී


උදව්කලෝ


අයි.සී.ටී.මිනි කැම්පස්හි කළමනාකරු

ඩබ්.එම්.ආර්.සී.දිසානායක මහතා.


සිහින එන්ටර්ටේන්මන්ට් අධිපති

වයි.ජී. නාලක ලක්මාල් මහතා.


මිරිස්ෙස් ඉතිහාසය වීඩිෙයා්ෙවන්