Tuesday, November 10, 2009

වෙසක් නිවාඩුවෙන් බිහිවූ බෞද්ධ කොඩිය


ඕනෑම උත්සව අවස්ථාවක හෝ විශේෂ අවස්ථාවක සැරසිලි කිරීමේදී බහුලව භාවිතා කරන්නකි, කොඩිය. එපමණක් නොව රටක් සංකේතවත් කිරීම සඳහා ද බොහෝවිට භාවිතා කරන්නේ කොඩියයි. ලෝකයේ ආගම් කෙරෙහි අවධානය යොමුකර බලන විට ද බොහෝ කොඩි වර්ග දැකිය හැකිය. එහෙත් ආගමික සංකේතයක් ලෙස එකම කොඩියක් මුළු ලෝකයේම භාවිතා කරන ආගමක් ඇත්නම් ඒ බෞද්ධාගම පමණි. එය “බෞද්ධ කොඩිය” යැයි අපට ආඩම්බරයෙන් පුකාශකල හැකිය. මෙම පූජනීය බෞද්ධ කොඩිය පිළිබඳ අප්‍රකට තොරතුරු හෙළිදරවු කිරීම මෙහි අරමුණයි.

පළමුව බෞද්ධ කොඩිය නිර්මාණය වීමට හේතුවූ පසුබිම එළිපෙහෙළි කරගත යුතුය.

වෙසක් පොහෝ නිවාඩු දිනය අහෝසි වෙයි

ඈත අතීතයේ සිට එනම් වසර දහස් ගණනක සිට ලක් වැසි බෞද්ධයා බුක්ති විඳි අති උත්තම වු වෙසක් පොහෝ නිවාඩු දිනය ක්‍රි.ව.1770 නොවැම්බර් මස 01 වන දා සිට අහෝසි කිරීමට එවකට මේ ලක් දෙරණ පාලනය කරමින් සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුව පියවර ගන්නා ලදී. එතැනින් නොනැවතුනු ඔවුහු ඉරිදා දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ද නීතිගත කරන ලදී.

මෙහිදී මෙහොතක් වෙසක් නිවාඩුව පිළිබඳ වු ඉතිහාසය සොයා බැලිය යුතුය. එසේ සොයාගෙන යද්දී 3 වන උදය රජුගේ (ක්‍රි.ව.942-950) බදුලු ශිලා ලේඛණය හමුවේ. එහි මෙසේ සඳහන් වේ. “ පොහොදා සල් කළාකුගෙන් වැපුදයට තෙල් පද්දක් ගන්නා ඉසා, මියු ගුණ් මහ වෙහෙරැ වැපුද පවත්වනු ඉසා” මෙහි සරළ තේරුම වන්නේ, “පොහොය දින වෙ‍ෙළඳාමේ නිරත වූ වෙළෙන්දන්ට ඊට දඬුවම් වශයෙන් මහියංගන වෙහෙරේ පහන් පූජාවට තෙල් පද්දක් (කාලක් හෝ නැළියක්) ගෙවිය යුතුය” යන්නයි. (වෙසක් නිවාඩුව හා බෞද්ධ කොඩිය - ගෝනහේනේ ජෝතිපාල හිමි) මේ අනුව පෙනී යන්නේ වසර දහස් ගානක් තිස්සේ වෙසක් පොහෝ නිවාඩුව ලක් දෙරණ තුළ ක්‍රියාත්මක වූ බවයි.


වෙසක් පොහෝ නිවාඩුව යළි දිනා ගැනීමට සටන් කිරීම

මේ සටන අවිහිංසාවාදී සටනක් විය. මෙහිදී පෙරමුණ ගත්තේ බෞද්ධ ආරක්ෂක සභාවයි. බ්‍රිතාන්‍ය පාලනයෙන් බෞද්ධයින්ට සිදුවූ අසාධාරණකම් මග හරවා ගැනීමටත් බෞද්ධ අයිත්වාසිකම් දිනාගැනීමටත් පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ මූලිකත්වයෙන් බිහිවූ සංවිධානයක් ලෙස බෞද්ධ ආරක්ෂක සභාව හැඳින්විය හැකිය.

ඒ අනුව විද්‍යෝදය පිරිවෙනට රැස්වූ කොළඹ ඉහළ පෙළේ ප්‍රභූ පිරිසක් ලහිලහියේ මෙම සංවිධානය පිහිටුවා ගැනීමට උත්සුක විය. එහි ප්‍රතිඵලයක් ලෙස බිහිවූ බෞද්ධ ආරක්ෂක සභාවේ කමිටු සාමාජිකයින් වූයේ විලියම් ද ආබ්‍රෙව්, දොන් කරෝලිස්, මුහන්දිරම් දොන් ඩේවිඩ් අභයරත්න, ජේ.පී.ජයතිලක, ජේ.ආර්. ද සිල්වා, සයිමන් පෙරේරා, ධර්ම ගුණවර්ධන ආරච්චි, බී.එච්.කුරේ, සේදිරිස් සිල්වා, ආර්.ඒ.මිරැන්ඩෝ, නීතිඥ චාර්ලිස් ඇලෙක්සැන්ඩර් ද සිල්වා, සී.පී.ගුණවර්ධන මහත්වරුන්ය.

මේ වන විට මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන්ගේ පානදුරා වාදයේ ලිපි කියවා පැහැදී ලංකාවට පැමිණ සිටි ඇමෙරිකානු ජාතික හෙන්ඩ්‍රි ස්ටීල් ඕල්කට්තුමා මදුරාසි සංචාරයක යෙදී සිටිය ද මෙම කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත්කළ යුතුයැයි පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් යෝජනා කළේය. ඒ අනුව ඔහු බෞද්ධ ආරක්ෂක සභාවේ ඉල්ලීම් ඇතුළත් පණිවුඩය රැගත් නියෝජිතයා ලෙස එංගලන්තයේ යටත් විජිත භාර ලේකම් ඩාර්බි සාමි වෙත යැවීමට ද තීරණය කරගන්නා ලදී. 1884 අප්‍රේල් මාසයේදී ඔහු එංගලන්තයට ලඟාවූ අතර 1884 මැයි 17 වන දා ඉල්ලීම් ඇතුළත් ලියවිල්ල යටත් විජිත භාර ලේකම්වරයා වෙත භාරදුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස 1885 අප්‍රේල් මස 28 වැනි දිනට යෙදී තිබුණු වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී නැවතත් වෙසක් පොහෝ දින නිවාඩුව නීතිගත කරන ලදී.

වෙසක් උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස සැමරීමට කටයුතු කෙරේ

මෙම ජයග්‍රහණයෙන් උද්දාමයට පත් බෞද්ධ ආරක්ෂක සභාව ඉතා උත්කර්ෂවත් අයුරින් වෙසක් පොහොය දිනය සැමරීමට තීරණය කරන ලදී. ඒ අනුව හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමියන් ඇතුළු කමිටුවක් ද පත්කරගන්නා ලදී. එම කමිටුව වැඩසටහන් මාලාවක් ද සංවිධානය කොටගෙන තිබුණි. එහි එක් යෝජනාවක් වූයේ කොටහේනේ දීප දුත්තාරමයේදී බෞද්ධ කොඩියක් එසවීමයි. ඒ සඳහා නව කොඩියක් නිර්මාණ කර ගැනීමට අවශ්‍ය විය. මෙම කොඩිය සඳහා නව සැළසුම් ඉදිරිපත් කිරීමට කමිටු සාමාජිකයින්ට සිදුවිය. විවිධාකාරවූ සැළසුම් ඉදිරිපත් වුවද මාතර, මඩිහ නම් ගමේ උපන් කරෝලිස් පූජිත ගුණවර්ධන ශූරීන් (සී.පී. ගුණවර්ධන) විසින් බුදුරජාණන් වහන්සේගේ ෂඩ් වරණ රශ්මි ධාරාව පිළිබිඹු වන ආකාරයට නිර්මාණය කල සැළැස්ම හොඳම සැළැස්ම ලෙස තෝරා ගන්නා ලදී.

කෙසේ වෙතත් ඇතමුන් බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා ඕල්ක‍ට්තුමා බව පෙන්වීමට උත්සාහ ගත්හ. 1892 ඩාර්ජලින් නුවර පැවැත්වුණු බෞද්ධ සම්මේලනය ගැන “තියෝසොපිස්ට්” සඟරාවට වාර්තාවක් සැපයූ හෙන්රිටා මුලර් මෙනෙවිය එහි සඳහන්කොට තිබුණේ ඕල්කට්තුමා බෞද්ධ කොඩිය සැළසුම් කල බවයි. නමුත් ඒමතය වැරදි බව ඕල්කට්තුමාම පුකාශ කළේ මේ ආකාරයටය. “මා බෞද්ධ කොඩිය සැළසුම් කල බව කියන මුලර්ගේ වාර්තාව වැරදිය. එහි ගෞරවය හිමිවිය යුත්තේ කොළඹ පරම විඥානාර්ථ සමාගමේ සාමාජිකයන්ට ය. මා කල එකම දෙයනම් හැඩය වෙනස් කිරීමට යෝජනා කිරීම පමණකි.”

බෞද්ධ කොඩියේ වර්ණ


නීල = නිල්

පීත = කහ

ලෝහිත = රතු

ඕදාත = සුදු

මාං‍ෙජ්‍යෂ්ඨ = තැඹිල


ඉහත ආකාරයේ වර්ණ මෙම කොඩියට අන්තර්ගත කිරීමට හේතුව වූයේ බුදුරජානන් වහන්සේගේ ජීවමාන කාලයේදී තම ශරීරයෙන් නික්මුණා වූ සවනක් ඝණ බුද්ධ රශ්මිය මෙමගින් නිරෑපණය වන නිසයි. බුදුරජාණන් වහන්සේ බුදුධත්වයෙන් හතරවන සතියෙහි මහ බෝධියට වයඹ දිගින් වූ රතන ඝර නම් විහාරයෙහි වැඩවසමින් පට්ඨාන ධර්මය මෙනෙහි කරමින් සිටින විට උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් මෙහි සඳහන් කල ෂඩ් වර්ණ බුද්ධ රශ්මි මාලාවන් විහිදුනු බව කියැවේ. මෙහිදී එම වර්ණ විහිදුනා වූ ආකාරය ඉදිරිපත්කිරීම ද වටී. එය මෙසේ සඳහන් කල හැකිය. උන්වහන්සේගේ ‍ෙක්ශධාතු ආදී නීල වර්ණ අවයව වලින් නීල් (නීල) වර්ණය ද ඡවි හෙවත් සම ආදී කහ පැහැති අවයව වලින් කහ (පීත) වර්ණය ද ලේ ආදී රක්ත ස්ථාන වලින් රතු (ලෝහිත) වර්ණය ද ඇට වලින් හා දත් වලින් ඕදාත (සුදු) වර්ණය ද ශරීරයේ අතුල් පතුල් හා තොල් වලින් තැඹිලි (මාං‍ෙජ්‍යෂ්ඨ) වර්ණය ද මේ සියළුම වර්ණ එකතුවී (ප්‍රභාශ්වර) වර්ණය ද විහිදුනු බව බුද්ධ චරිතයේ සඳහන් වේ.


මේ ආකාරයට නිර්මාණය වූ බෞද්ධ ‍ෙකාඩිය ගරු ගාම්භීරත්වයෙන් පුථම වරට 1885 අප්‍රෙල් මස 28 වන දිනට යෙදුනු වෙසක් පුර පසළොස්වක පොහේ දින කොළඹ විද්‍යෝදය පිරිවෙනෙහි ද කොටහේනේ දීපදුත්තාරාමයේ ද කොළඹ පිහිටි වෙනත් විහාරස්ථානවල ද ඔසවන ලදී.


No comments:

Post a Comment